(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ලසන්ත ද සොයිසා නොහොත් රත්ගම විදුර ගේ මස්සිනා  විසින් සඟවා තැබූ විදේශ ගිනි අවියක් උණ්ඩ 3 ක් සැකකරුගේ නිවෙස අසල වළ දමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන ඇත.

සැකකරු රත්ගම, බෝපාගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරියකු වන අතර දැනට බන්ධනාගාර ගත කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්මන් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක දිල්ෂාන් මිහිරංග මහතා ඇතුළු කණ්ඩායමක් ඉකුත් දා මිරිස්ස ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 1580 ක් සන්තකයේ තබාගෙන සිටියදී සැකකරු ඇතුළු තිදෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබුණි.

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ සුජීගේ පාර්ශවය විසින් මීට පෙර සීනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුට වෙඩි තබා ඇති බව විමර්ශනවලදී අනාවරණයවී ඇත. ඒ අනුව සැකකරු විදේශගතවී සිට ලංකාවට පැමිණ ආරක්ෂාව සදහා රත්ගම විදුරගෙන් ගිනි අවියක් ඉල්ලා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.