ලංකාවේ මානව හිමිකම් සුරැකීම සදහා වන දේශීය යාන්ත්‍රණයට සහාය දක්වමින් ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව නිසා පසුගිය සමයේ ජාත්‍යන්තරයේ සැකකරුවෙක් ලෙස හංවඩු ගැහී සිටි ශ්‍රීලංකාවේ ධනාත්මක වෙනසක් ඇතිවූයේයැයි වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

එසේම ඇමරිකා යෝජනාවේ සම අනුග්‍රාහකත්වය මෙරටට හිමිවීමෙන් ජාත්‍යන්තර පරීක්ෂණ වලින් තොර අලුත් ශ්‍රීලංකාවක් ඉදිරියේදී ලෝකය හමුවේ බිහිවනු ඇතැයිද අමාත්‍යවරයා කීය.

ඔහු මේ බව කියා සිටියේ ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයේදී පසුගියදා ශ්‍රීලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්වූ නවතම වාර්තාව පිළිඹදව අදහස් දක්වමිනි.

වැඩබලන විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම යෝජනාව මගින් සිදුවන්නේ පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු තෝරාගත් රටවල් කිහිපයක සහයෝගීතාව ශ්‍රීලංකා රජය මෙරට මානව හිමිකම් කඩවීම් විමර්ෂණය කිරීමට ක්‍රියාවට නැංවීමට යන දේශීය යාන්ත්‍රණයට ලබාගැනීම බවය.

මෙහි කිසිම රහස් ගනුදෙනුවක් නොමැති බවත් එය ශ්‍රීලංකා නීතියට යටත්ව සිදුකරන්නක් බවත් හෙතෙම කියා සිටියේය.

මෙවැනි ක්‍රියාවලියක් මෙතෙක් ලෝකයා හමුවේ සැකකරුවෙකුවූ අප රට එයින් මුදවාගත් අවස්ථාවක් වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.එසේම‍ ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවෙන් ශ්‍රීලංකාවටද සම අනුග්‍රාහකත්වය පැවැරී තිබීම නිසා පූර්ණ ස්වාධීන පරීක්ෂණයක් දියත් කිරීමට ශ්‍රීලංකාවට බලය පැවැරෙන බවද ඔහු පැවසීය.