(අංජුල මහික වීරරත්න)

රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ ගොඩනැඟෙන  ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම අසත්‍ය ප්‍රචාරවලට හසු වුවහොත් ස්ථිර ලෙසම නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන බවද අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකළ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (10) පස්වරුවේ එක් වෙමිනි. 

මෙරට පළමු වතාවට කුරුඳු වගාව සම්බන්ධයෙන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට 2023 අයවැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව යථාර්ථයක් කරමින් එහි ප්‍රධාන කර්යාලය මෙලස විවෘත කෙරිණි.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය දියත් කිරීම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

කුරුඳු කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා සකස් කළ දස අවුරුදු මාර්ග සිතියම හා කුරුඳු වගාව සම්බන්ධව සකස් කළ "කුරුඳු අත් පොත" තාක්ෂණික ප්‍රකාශනය  ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු විය. 

තෝරා ගත් කුරුඳු ව්‍යවසායකයන් වෙත GAP සහ GI  සහතික පත් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.