(යොහාන් භාසුර)

නීති විරොධී ලෙස මෙරටින් අපනයනය කිරීමට උත්සහ කළ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් අබලි ලෝහ කිලෝ 32,000 ක් අඩංගු බහාළුම් දෙකක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

එම බහාළුම් දෙකක තුළ අබලි ඇලුමිනියම් කුට්ටි කිලෝ 14,070 ක්, අබලි තඹ කිලෝ 7,480 ක්, අබලි ඇලුමිනියම් කිලෝ 4,500 ක් සහ අබලි වානේ කිලෝ 6,780 ක් තිබූ බවත් එම බහාළුම් තුළ සිලිකන් ආලේපිත විදුලි තහඩු කිලෝ 40,000 ක් අඩංගු බව අපනයනකරු ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කළ රේගු ප්‍රකාශනයේ සඳහන් කර තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

කලගෙඩිහේන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන අපනයකරු එම යකඩ ලෝහ තොගය ඉන්දියාවට අපනයන කිරීමට උත්සාහ කළ බවත් අදාල සැකකරුවන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරමින් පවතින අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකිරීමෙන් පසු රේගු පරීක්ෂණයක් පවත්වා භාණ්ඩ රාජසන්තක කර සැකකරුවන්ට දඩ පැනවීමට නියමිත බවත් රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා කීය.