(අංජුල මහික වීරරත්න)

ඔක්කොම එකතු වී 1946 දී නිදහස් ලංකාවක් බිහි කළ අයුරින් වර්තමානයේදීත් සියලු දෙනා එකතු වී රටේ පරමාධිපත්‍යය ආරක්ෂා කර ගනිමු යැයි හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප 80 වැනි සංවත්සරයට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

වර්තමානයේදී ජනතා පරමාධිපත්‍ය පිළි නොගැනීමේ තර්ජනයක් මතුව ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (6)පැවැත්විණි. රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පවසයි.

වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී. එස්. සේනානායක මැතිතුමා ඇතුළු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළා. නිලධාරීන් පත් කරන අවස්ථාවේදී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා මූලාසනය ගෙන ඩී. එස්. සේනානායක මැතිතුමාගේ නම නායකත්වයට යෝජනා කළා.

ආරම්භක සාමාජිකයන් මෙතන නැති වුණාට ඒ අයගේ දූ දරුවන්, මුණුබුරන් මේ පක්ෂය සමග වැඩ කරන කණ්ඩායම් වෙනවා. ඒ වගේම අනික් පක්ෂවලත් ඒ කණ්ඩායම් සිටිනවා. ආරම්භක සාමාජිකයෙකු අතර ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාත් සිටියා. එතුමාගේ පුතුන් දෙන්නෙකු මේ රටේ ජනාධිපති හැටියට ක්‍රියා කළා.

අද ආරම්භ කරන්නේ 80 වැනි සංවත්සරයයි. සැප්තැම්බර් 17 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ 120 වැනි උපන්දිනය සමරනවා. මෙතැනින් ආරම්භ කර රටට කළ සේවය ගැන දැනුවත් කරමින් දෙසැම්බර් මාසයේ සම්මේලනය පවත්වනවා.

එදාට ඇතිවන්නේ නවීන එක්සත් ජාතික පක්ෂයයි. නවීන එක්සත් ජාතික පක්ෂයට අද තිබෙන අදහස් අනුව මතවාද සකස් කර, අලුත් මුහුණු එක් කරමින්, 21 වැනි ශත වර්ෂයට ඔබින ලංකාවක් සකස් කරන්න මා බලාපොරොත්තු වෙනවා.

අද අප ආරම්භ කරන තේමාව "පරමාධිපත්‍යයයි". 1948 ඩී. එස්. සේනානායක මැතිතුමා, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා ඇතුළු නායකයින් ගණනාවක් මේ රටට නිදහස ලබා දුන්නා. අප ස්වෛරී රාජ්‍යයක් හැටියට ක්‍රියා කළා.

ඊට පසුව දෙවැනි එලිසබෙත් රැජින ලංකාවේ රැජින හැටියට නීතියක් ගෙනාවා. එතකොට අපේ අන්තිම රජ තනතුර දැරුවේ දෙවැනි එලිසබෙත් රැජිනයි. දෙවැනි එලිසබෙත් රැජින ඒ තනතුර දරනු ලැබුවා.

ඊට පසුව 1955 දී අප එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු වී ස්වෛරී රාජ්‍යයක් හැටියට මේ කරුණු තහවුරු කළා. 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට ව්‍යවස්ථාදායක සභාවක් කැඳවන්න වරමක් ලැබුණා. ඒ අනුව ජනරජ ව්‍යවස්ථාව සකස් කරලා 1972 මැයි 22 වැනිදා එය ක්‍රියාත්මක කළා.

මේ ජනරජ ව්‍යවස්ථාවෙන් රටේ පරමාධිපත්‍යය ජනතාවට භාර දුන්නා. නමුත් එය ක්‍රියාත්මක කිරීමේ බලය ජාතික රාජ්‍ය සභාවට පවරනු ලැබුවා. 1977 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් මේ සඳහා සංශෝධන කීපයක් කරන්න ඉල්ලුවා. ප්‍රධාන එක ජනතා පරමාධිපත්‍යය ජනතාව විසින් ඍජුවම ක්‍රියා කල යුතු බවයි.

එදා අපිට 140 ක මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබුණ නිසා අලුත් සංශෝධනය එක්ක දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ඉදිරිපත් කළා. ඒ ජනරජ ව්‍යවස්ථාවේ විශේෂයෙන්ම තුන්වැනි වගන්තියේ මේ රටේ පරමාධිපත්‍යය ජනතාවට අයිතියි, එය අන්සතු කරන්න බැහැ යන්න සඳහන් වෙනවා. ඒ වගේම හතරවැනි වගන්තියෙන් පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන නියෝජිත ආයතන පාර්ලිමේන්තුව, ජනාධිපති සහ අධිකරණය ලෙස දක්වනු ලැබුවා.

අද මේ ක්‍රමයට විශාලම තර්ජනය ඇති වෙලා. ඒ ජනතා පරමාධිපත්‍යය පිළිනොගැනීමයි. අප විශේෂයෙන් පක්ෂයක් හැටියට 22 වැනි සංශෝධනයට විරුද්ධ වුණේ, එයට ආණ්ඩුවෙන් ජනමත විචාරණයක් අවශ්‍යයි කියා සඳහන් නොකරපු නිසායි. එහෙයින් අප උසාවියෙන් ජනමත විචාරණයක් ඉල්ලා සිටියා. එමගින් එහි නීත්‍යානුකූලභාවය ඇති කරන්න පුළුවනි.

එහෙත් අද ගෙනියන වැඩසටහන් වලින්, එක එක කණ්ඩායම් දේශපාලන පක්ෂවලට සීමා හා හිරිහැර කිරීම්, ඒ වගේම දේශපාලනඥයන් හේතු නැතුව අත්අඩංගුවට ගැනීම් දැක ගත හැකියි. මේ හැම එකකින්ම බලන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සහ විපක්ෂයයි නැති කරන්නයි. ඒ වගේම නිදහස් වෘත්තීය සමිති නැති කර දමන්නයි.

දැන් නීතිඥ සංගමයට එරෙහිව පහර ගහනවා. වෛද්‍යවරුන්ට එරෙහිව පහර ගහනවා. ඒ වගේම තව විශාල ප්‍රශ්නයක් වන්නේ සංඝයා වහන්සේට එරෙහිව ගෙනියන ව්‍යාපාරයයි. මේ සියල්ලම මගින් රටේ ව්‍යවස්ථාවත්, ජනතා පරමාධිපත්‍යයත් නැති කරනවා.

පාර්ලිමේන්තුවේ විපක්ෂයට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා, විශේෂයෙන්ම නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා කැඳවපු අවස්ථාවේදී පාර්ලිමේන්තුවට එන්න ඉඩ දුන්නේ නැහැ. අන්න එහෙම ක්‍රියාමාර්ග සිදුව තිබෙනවා.

ඒවා සැලකිල්ලට ගෙන බැලුවම කොහෙන්ද මේ රට පාලනය වෙන්නේ? පාර්ලිමේන්තුවෙන්ද, නැතිනම් පැලවත්තෙන්ද? එහෙම ප්‍රශ්න තිබෙන අවස්ථාවේදී ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කරන්න ඕනෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තිය ආරක්ෂා කරන්න ඕනෑ. නවවැනි වගන්තිය අනුව බුද්ධාගම ආරක්ෂා කරගත යුතුයි.

අප සියලු දෙනාම එකතු වෙමු. 1946 දී ඔක්කොම එකතු වෙලා නිදහස් ලංකාවක් ඇති කළා. අදත් ඔක්කොම එකට ක්‍රියාත්මක වෙමු. රටේ පරමාධිපත්‍යය ආරක්ෂා කර ගනිමු.

මා විශේෂයෙන්ම අප පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වන ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ මුණුබුරා වූ නාමල් රාජපක්ෂ මහතාට පක්ෂයේ සංවත්සර සැමරුම් උත්සවයට ආරාධනා කළා. අවාසනාවකට නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත්තා. ඒ ක්‍රියාවට මගේත්, පක්ෂයේත් දැඩි විරුද්ධත්වය පළ කරනවා යයිද රනිල් වික්‍රමසිංහ මහතා එහිදි වැඩිදුරටත් පැවසීය.

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා

පරමාධිපත්‍යය අපට ඉතාමත් වැදගත් දෙයක්. ඒ නිසා තමයි නිදහස්, නිවහල් පුරවැසියන් හැටියට අපට ජීවත් වීමට පුළුවන් වන්නේ. එය හැමදාම අපට තිබුණේ නැහැ. 1505දී පෘතුගීසීන් අපේ රටට පැමිණීමෙන් පසු අවුරුදු 450කට පරමාධිපත්‍යය තිබුණේ විදේශිකයින්ගේ අතේයි.

අධිකරණයේ ස්වාධීනත්වය අතිශයින් වැදගත් වෙනවා. ඒක ප්‍රධාන කුලුනක්. ඒ සම්බන්ධයෙන් මූලික වෙනසක් සිදු කරනවා නම් ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යවශ්‍යයි. ජනතාවගේ පරමාධිපත්‍යය යම්කිසි රජයක් වැරදි ලෙස පැහැර ගන්නවා නම්, අනාගත රජයකට අනිවාර්යයෙන් වගකීමක් පැවරෙනවා. ඒ තත්ත්වය නිවැරදි කර උදුරාගත් පරමාධිපත්‍යය නැවත ජනතාවට ලබා දීමටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා :-

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා විසින් එක්සත් ජාතික පක්ෂය මීට අසූ වසරකට පෙර ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා, ටී. බී. ජයා මැතිතුමා, සුන්දරලිංගම් මැතිතුමා වැනි දේශප්‍රේමී ජන නායකයින් ගණනාවක් සමඟ ඒකරාශී වෙලායි.

දේශපාලන වශයෙන් අපට එක්සත් ජාතික පක්ෂය සමඟ මතවාදී යම් යම් ප්‍රශ්න තිබුණත්, මේ අවස්ථාවේදී කුහක නොවී ඒ පක්ෂය අසූ වසර තුළ කරන ලද සේවාව, එයට නායකත්වය දෙන ලද පුද්ගලයින් අගය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පය තුළ දේශපාලනය කියන්නේ වෛරී දේශපාලනයක් නොව, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මතවාදී දේශපාලනයක් පමණයි කියන එක අප සපථ කළ යුතුයි.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-

මේ රටේ පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරය සමරන මේ වෙලාවේ සමගි ජන බලවේගය විදිහට අපේ පක්ෂයේ සුභාශිංසනය පිරිනමනවා.

මේ රටට විශාලතම වැඩකොටස කර තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි. නිදහස ලබන විට අපට හාල් ටික තිබ්බේ නැහැ. මහා කෘෂිකර්ම විප්ලවයක් කර ගල්ඔය, මහවැලිය, මිණිපේ, ගොවි ජනපද ව්‍යාපාර සියල්ල එක්සත් ජාතික පක්ෂය ඇති කළ දේවල් වෙනවා. එක්සත් ජාතික පක්ෂය රට සහලින් ස්වයංපෝෂණය කළා.

එක්සත් ජාතික පක්ෂයට රටේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව 1971 කැරැල්ලත්, JVP 1988- 1989 කරැල්ලත්, තිස් අවුරුදු යුද්ධයටත් මුහුණ දෙන්න සිදුවුණා.

අද මං හිතන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අභියෝගයක් ඇවිල්ලා. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණයේ බල තුලනය අහිමි වෙන තත්ත්වයට පත් වෙලා. විධායකයේ, ව්‍යවස්ථාදායකයේ බලය පක්ෂයකට යනකොට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළේ අධිකරණයයි.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න කටයුතු කරනවා. ආයුධ බලයෙන් බලය ගන්න ගිය පක්ෂයක් අද අහම්බෙන් ඡන්දයෙන් ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා.

මේ වෙලාවේ සියලු දෙනාම එකතු වෙලා එදා එක්සත් ජාතික පක්ෂය නිදහස ගන්න ක්‍රියා කළ ආකාරයට කටයුතු කළ යුතුයි. සමගි ජන බලවේගය විදිහට අප එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලන ව්‍යාපාරය පටන් ගත්තා. එක්සත් ජාතික පක්ෂයේ බොහෝ ප්‍රතිපත්ති අපේ ප්‍රතිපත්තිමයි. මමත් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කර අද සමගි ජන බලවේගයට කටයුතු කරනවා.

මා කියන්නේ මේ වැදගත් අවස්ථාවේ නැවත එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් ඒකාබද්ධ වෙන්න ඕනෑ කියායි. එක්සත් ජාතික පක්ෂයට අපේ සුභාශිංසන පිරිනමනවා.

සර්ව ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සරය පැවැත්වුණු අතර පක්ෂයේ ආදි කර්තෘවරුන්ගේ පිළිරු වලට මල් දම් පැළඳ වීමද සිදු කෙරිණි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු එජාප නායකයෝ ද සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද විපක්ෂයේ සියලු පක්ෂ නියෝජනය කරමින් දේශපාලනඥයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.