(අංජුල මහික වීරරත්න)

රටකජු වලින් ලංකාව ස්වයංපෝෂිත වී ඇති අතර "ජම්බෝ පීනට්ස්"සැකසීම සඳහා අවශ්‍ය වන කජු ප්‍රභේදයවත්  මින්පසු ආනයනය කරන්නට අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙරට වගා කරන ලද "ශ්‍රී ලංකා ජම්බෝ" නම්  විකල්ප රටකජු ප්‍රභේදය ආනයනය කරන රටකජු වලට වඩා ගුණාත්මකභාවයෙන් ඉහළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය . 

මිද්දෙනිය  තෝරකොළයාය රජයේ බීජ ගොවිපොළේ ශ්‍රී ලංකා ජම්බෝ රටකජු අස්වැන්න නෙලීමේ වැඩ සටහනට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මිනිසුන්ට අවශ්‍ය දෛනික ප්‍රෝටීන ප්‍රමාණයෙන් සියයට 29ක් මෙම රටකජු ආහාරයට ගැනීම නිසා සපයා ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මස් හා මාළු මිල ගණන් ඉහළ යාම නිසා ජනතාවට අවශ්‍ය සත්ව ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගැනීමේ අපහසුතාවයක් පවතින නමුත් රටකජුවල අවශ්‍ය තරම් ප්‍රෝටීන් අන්තර්ගත නිසා එම අඩුව සපුරා ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ලංකාවෙි වාර්ෂික රටකජු අවශ්‍යතාවය  මෙට්‍රික් ටොන් 30,000ක් වන අතර මේ වනවිට රටකජු වගාවෙන් මෙට්‍රික් ටොන් 64,000ක අස්වැන්නක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.