නිරූපණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පිවිසි චාමර බණ්ඩාරනායක මේ වනවිට රංගනයටද යොමුව සිටියි. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයක් සඳහා සිය රංගන දායකත්වය ලබාදී ඇති ඔහු වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහෝමයක් තුළින්ද අප හමුවට එයි. රංගන ශිල්පියෙකු ලෙස දිගු ගමනක් යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔහු සිය කලා කටයුතු පිළිබඳව පැවසීමට "තරුණයා" හා මෙලෙස එක්විය.
කලාවට පිවිසෙන්නේ?
මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ 2015 අවුරුද්දේ. ඒ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ගීතප්‍රිය සමරසිංහ අයියාගේ මඟ පෙන්වීම මත. නිරූපණ ක්ෂේත්‍රය තුළ කටයුතු කරමින් යනකොට මිලින්ද මධුෂංක අයියා කතා කළා ගීත රූප රචනාවකට පෙනී සිටින්න කියලා. ඒ හරහා බොහෝ දෙනෙක් අඳුන ගන්න මට පුළුවන් වුණා. ඊට පස්සේ තමයි ටෙලි නාට්‍යය රංගනයට යොමු වුණේ.
පාසල් කාලයේදිත් ඔබ නළුවෙක්?
මම ක්ෂේත්‍රයට ආවේ අද ඊයෙ නෙමෙයි, පාසල් යන කාලේ ඉඳලම මම නළුවෙක්. මගේ අම්මා මාධ්‍යයට සම්බන්ධ කෙනෙක්. අම්මා මාව පොඩි කාලේ විවිධ කලා කටයුතුවලට යොමු කළා. ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ "අන්දර වැට", "සත්සර රංගන", "සෙල්ලම් ගෙදර" වගේම ජාතික රූපවාහිනියේ විකාශය වුණ "ඉංගම්මාරුව" හා "සිරි සිරිමල්"හි මම රඟපෑවා. "සිරි සිරිමල්" ටෙලි නාට්‍යයේ මම නිරූපණය කළේ ප්‍රධාන චරිතයක්. නළුවෙක් වුණ නිසා පාසල් කාලේ මම යහළුවන් අතරේ ජනප්‍රිය චරිතයක් වෙලා හිටියා.
මේ දවස්වල?
නිරූපණ කටයුතුවලට වගේම රංගනය පැත්තටත් මේ දිනවල වැඩිපුර සම්බන්ධ වෙලා වැඩ කරනවා. මෑතකදී මම දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන "සිදූ" ටෙලි නාට්‍යයටත්, ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන "කොළඹ අපි ආවා" කියන ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනි නාළිකාවේම විකාශය වෙන "දඩකෙළි අරණ" ටෙලි නාට්‍යයටත් දැනට එකතු වෙලා ඉන්නවා. මේ දිනවල අතිශය ජනප්‍රිය කයිසර්ගේ "නිතඹ සලා" ගීතයේ මම පෙනී ඉන්නවා. ඊට අමතරව, ජුඩ් රොගැන්ස්ගේ "වෙනස් වෙලා" ගීතයේ මාව දකින්න පුළුවන්. මේ ගීතත් එක්ක මම ගීත රූප රචනා 6කට වඩා වැඩි ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා.
ක්ෂේත්‍රයට එන්න අත දුන්නේ?
මේ ක්ෂේත්‍රයට එන්න මාවත විවර කරලා දුන්නේ ලෙස්ලි කාවින්ග හා රූපලාවන්‍ය ශිල්පී ගීතප්‍රිය සමරසිංහ දෙන්නා. මේ වෙලාවේ මගේ කෘතවේදීත්වය ඔවුන්ට පිරිනමන්න කැමතියි. ඊට අමතරව තරිඳු විමලවීර, මිලින්ද මධුෂංක, සුරංග ලක්මාල් වගේම මගේ පවුලේ අම්මා, තාත්තා, අයියා සහ අක්කා ගොඩක් උදව් කරනවා මගේ කලා කටයුතුවලට. නිතරම මගේ රඟපෑම්, නිරූපණ කටයුතු පිළිබඳව අඩුපාඩු කියලා මාව දිරිමත්කරන මගේ හොඳම යාළුවා කුෂිවත් මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම මා වටා ඉන්න මගේ ආදරණීය රසික, රසිකාවියන් සියලු දෙනාට ස්තුති කරනවා මේ මොහොතේදී. මොකද, ඔවුන් නිසා තමයි අද මම මේ තැනට ඇවිල්ලා ඉන්නේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd