ලයන් බෲවරි සිලෝන් ලිමිටඩ් සමාගම ඇතුළු තවත් සමාගම් හතරකට රුපියල් කෝටි 600කට ආසන්න රේගු බදු සහන ලබාදීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීමට මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට අවසන් වරට ජනවාරි 27 වැනිදා කල් දීමට අභියාචනාධිකරණය  අද (15) තීන්දු කළේය.

මාස හතරක කාලයක් සඳහා රේගු බදු සහන ලයන් බෲවරි සමාගම ඇතුළු තවත් සමාගම් හතරකට දීමට ගෙන ඇති තීරණය අහෝසි කර එම රුපියල් කෝටි 600කට ආසන්න මුදල මහජන සුබ සිද්ධිය සඳහා යොදවන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා  මහතා ඉදිරියෙහි කැඳවිනි.

අගලූගල්ලේ ශ්‍රී ජිනානන්ද ,රත්ගම සුමංගල ,බියගම සුසීල ,උඩගෝමදෙනියේ රතනවංශ හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා හය නමක් පෙත්සම ගොනු කළහ.