IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රැකගන්න පියයුරු දෙන්න මව්කිරි

(මුණමල්දෙණිය රජයේ රෝහලේ ආයතනභාර වෛද්‍ය - රෝහණ කෑරගල )

පියයුරක අර්බුදයක් (ගෙඩියක්) හෝ ගැටිත්තක් යනුවෙන් සිතීමත් දැන් දැන් නම් හැමෝම බියට පත්වන කාරණයකි. එහෙත් මීට වසර කිහිපයකට පෙර ලජ්ජාව නිසා පියයුරු පිළකාවෙන් මියගිය කාන්තාවන් එමටයි. අදත් ඒ තත්ත්වය නැතිවා නොවුණත් පියයුරක ගෙඩියක් යන්න කවුරුත් සැළකිල්ලක් දක්වන කරුණක් බවට අද පත්වී තිබීම යහපත් දෙයකි. පියයුර විශාල වීමත් නෙරා ඒමත් ගැටිත්තක් හෝ ඉදිමීමක් පියයුරු ගෙඩියක්  ලෙස හැදින්විය හැකියි.


පියයුරු ගෙඩියක් ඇති වන්නේ කාටද?

පියයුරක ගෙඩියක් ඉදිමුමක් හෝ විශාල වීමක් ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවයටම  ඕනෑම වයසකදී ඇති විය හැකිය. මවගෙන් ලැබෙන ඊස්ට‍්‍රජන් හෝමෝනය හේතුවෙන් ඉතා කුඩා බිළිඳකුගේ පියයුරක ගැටිත්තක් ඇතිවිය හැකියි. ඒ බිළිඳා දියණියක විය යුතුම නැහැ. වැඩිවිය පැමිණීමට ආසන්න වන විට දියණියකගේ ඇතිවන පියයුරු ගැටිත්ත තරමක් රිදුම් දුන්නත් එය සාමාන්‍ය තත්ත්වයක්. පිරිමි දරුවකුගේ වැඩිවිය පැමිණෙන වයසේදීත් මෙවන් තත්ත්වයක් දැකිය හැකියි. එහෙත් වැඩිහිටි පුරුෂයෙකුගේ හෝ කාන්තාවකගේ පියයුරු පටකයට අමතර ගෙඩියක් තිබේනම් ඒ පිළිබඳව සැළකිලිමත් විය යුතුයි.


පියයුරක ඇතිවිය හැකි ගෙඩි මොනවාද?

වෛද්‍ය විද්‍යානුකූලව පියයුරක ඇතිවිය හැකි ගෙඩි වර්ග ගණනාවක් දැක්වුවද වඩාත් බහුලව දැකිය හැකි ගෙඩි වර්ග කිහිපයකි. එනම් ෆයිබ්‍රොඇඩිනෝමා ෆයිබ්‍රොඇඩිනොසිස් පියයුරෙහි ඇතිවන දියර ගෙඩි පියයුරු සැරව ගෙඩි හා පියයුරු පිළිකා වේ.


ෆයිබ්‍රොඇඩිනොසිස් ගැන දැන ගැනීම.

තරුණ කාන්තාවන්ට ඇතිවන අහිංසක ගෙඩි විශේෂයකි. එක් පියයුරක හෝ දෙකෙහිම ඇතිවිය හැක. පියයුරෙහි ඇතිවන වේදනාවත් තද වූ විට ඇතිවන රිදුම් දෙන ස්වභාවයත් ගැටිති ස්වභාවයක් දක්වන ගෙඩියක් හෝ කිහිපයක් දක්නට ලැබීමත් රෝග ලක්ෂණ වේ. මෙම රෝග ලක්ෂණ ඔසප් වීමත් සමඟ වඩාත් තීව‍්‍ර වේ.

ෆයිබ්‍රොඇඩිනොසිස්  තත්ත්වය වේදනාව හේතුකොට ගෙන කරදරකාරී ස්වභාවයක් දක්වන අතර පිළිකාවකින් වෙන්කොට හඳුනා ගැනීම වැදගත් අවශ්‍යතාවයයි. කාන්තාවන්ගේ හෝමෝන ප‍්‍රමාණය වෙනස්වීම හේතුකොට ගෙන ෆයිබ්‍රොඇඩිනොසිස් තත්ත්වය උද්ගත වන බව විශ්වාස කෙරේ. සාමාන්‍යයෙන් මෙම ස්වභාවය හා පිළිකා ඇතිවීම අතර සබඳතාවයක් නොමැත. එහෙත් ෆයිබ්‍රොඇඩිනොසිස් හි උප විශේෂයක් සේ ගැනෙන ඒඩීඑච්/ඒඑල්එච්  යන ආකාර නම් යම් පමණක පිළිකා අවදානමක් දරයි.


ෆයිබ්‍රොඇඩිනොසිස් සඳහා කළයුත්තේ කුමක්ද?

වේදනාව සමනය කිරීමත් සායනිකව වෛද්‍යවරයා හට සැක පහළ වුවහොත් වෙනත් පරීක්‍ෂණ මගින් රෝග නිශ්චය ස්ථීර කර ගැනීමත් වැදගත් වේ.

අධික මේද සහ කැෆේන් වලින් වැළකීමත් විටමින් ඔමේගා 3 මේද අම්ල ගැමා ලිනොලෙයික් අම්ලය අයඩින් තන්තුමය ආහාරපාන පළතුරු ආහාරයට එක්කර ගැනීමත් මෙම තත්ත්වය පිටු දැකීමට ඉවහල් වනු ඇත.


ෆයිබ්‍රොඇඩිනෝමා ගැන දැනගනිමු.

තුරුණුවියේ පියවුරු අර්බුද අතරින් වඩා බහුලව ෆයිබ්‍රෝඇඩිනෝමා වේ. ප‍්‍රමාණයෙන් බහුතරයක් ෆයිබ්‍රොඇඩිනෝමාවන් සෙ.මී.1-3 ත් අතර වේ. අතින් ඇල්ලූ විට දතට දැනෙන අතර ඉතා පහසුවෙන් එහා මෙහා චලනය වේ. වෛද්‍යවරයකුට පවා සාමාන්‍ය සායනික පරීක්‍ෂාවකදී පිළිකාවකින් වෙන් කොට හඳුනා ගැනීමේ අපහසු අර්බුදයකි ෆයිබ්‍රොඇඩිනෝමාව

කෙසේ වෙතත් සායනික පරීක්‍ෂාවේදී හෝ අනෙකුත් අත්‍යවශ්‍ය පරීක්‍ෂණවලදී වෛද්‍යවරයාගේ සැකය මඟ නොහැරේ නම් අර්බුදය කපා ඉවත් කර ව්‍යාධිවේදී පරීක්ෂණයට භාජනය කිරීම සුදුසුම ක‍්‍රම වේදයයි.

යහමින් එළවළු සහ පළතුරු පරිභෝජනයට ගැනීමත් දරුවන් වැඩි සංඛ්‍යාවක් බිහිකිරීමත් උපත්පාලන පෙති භාවිතයත් මඳ පමණින් ව්‍යායාමයෙහි යෙදීමත් ෆයිබ්‍රොඇඩිනෝමාව තත්ත්වය මඟ හැර සිටීමට උපකාරී වේ.


පියයුරු පිළිකාවක රෝග ලක්‍ෂණ මොනවාද?

රෝගියා විසින්ම හඳුනා ගන්නා අර්බුදයක් (ගෙඩියක්) සහිතව වෛද්‍යවරයා කරා පැමිණීම පියයුරු පිළිකා හඳුනාගැනෙන බහුලම ක‍්‍රමයයි. එසේම කිහිලි ප‍්‍රදේශයේ ඇතිවන තද ස්වරූපයේ වසා ගැටිති, පියයුරු පිළිකාවක් ඇති බවට ඉඟි කරයි. සායනික පරීක්‍ෂාවේදී, එක් පියයුරක් අනෙකට වඩා විශාලව, පිහිටන බවත්, හැඩයෙන්ද වෙනස් බවක් ගන්නා බවත් පෙනේ. සම වල ගැහීමත්, තන පුඩුව ඇතුලට නෙරායාමත්, තන පුඩුවෙන් ශ‍්‍රාවයක් වැගිරීමත්, වේදනාව දැනීමත් අනෙක් රෝග ලක්ෂණ අතර වේ. පිළිකාව හඳුනාගැනීම ප‍්‍රමාද වීම හේතුවෙන් අස්ථි වලට, අක්මාවට, පෙනහළු වලට සහ මොළයට පියයුරු පිළිකාව පැතිර යා හැක.


පියයුරු පිළිකා සඳහා බලපාන සාධක මොනවාද?

x වයස - වයිසින් වැඩිවත්ම පිළිකා ඇතිවීමේ ප‍්‍රවණතාව ඉහළ යයි.

x ස්ත‍්‍රී/පුරුෂ බව - පුරුෂයන්ට වඩා කතුන්ට පිළිකා ඇති වේ.

x දරුවන් ලැබීම, දිගු කළක් මව්කිරි දීම පිළිකා මඟ හරවයි.

x මත්පැන් සහ දුම්වැටි භාවිතය පියයුරු පිළිකා වලට අතවනයි.

x පවුලේ වෙනත් අයකුට පියයුරු පිළිකා තිබීම අනෙක් සාමාජිකයන්ට කරන අනතුරු ඇඟවීමක් සේ සැළකීම යහපත්ය.

x තමන්ටම මීට පෙර පියයුරු පිළිකාවක් සෑදී ඇතිනම් ඔහු හෝ ඇය තවත් පිළිකාවකට ලක්වීමේ අවදානම වැඩිය.

x ශාරීරික ක‍්‍රියාකාරකම් සහ ව්‍යායාම අඩුවීමත් මේ සඳහා බලපායි.


පියයුරු අර්බුදයක් හඳුනාගන්නේ කොහොමද ?

          මේ සඳහා අති නවීන තාක්ෂණික උපක‍්‍රම රාශියක් තිබුනද ස්වයං පියයුරු පරීක්ෂාව එනම් ඔබ විසින්ම ඔබේ පියයුරු පරීක්ෂා කර ගැනීම අතිශයින් වැදගත්ය. අති ධ්වනි පරිලෝකනය මැමෝග‍්‍රෑම් පරීක්ෂණය එම්ආර්අයි පරීක්ෂණය එෆ්එන්ඒසී පරීක්ෂණය කොටසක් කපා පරීක්ෂා කිරීම වැනි පරීක්ෂණ රාශියකින් ඔබට අවශ්‍ය පරීක්ෂණය ඔබේ වෛද්‍යවරයා ඔබ වෙත නිර්දේශ කරනුයේ ඔහු විසින්ද ඔබ සායනිකව පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.


ස්වයං පියයුරු පරීක්ෂාව සිදුකරන්නේ කොහොමද?

ස්වයං පියයුරු පරීක්ෂාව ඔබ වයස විස්සට වැඩිනම් මාසයකට වරක් සිදුකිරීම නිර්දේශයයි. ඔසප් වීම ආරම්භ වූ දින 12 කට පසුව පරීක්ෂා කිරීම වඩා හොඳයි. ඔබ කිරි දෙන මවක් නම් මේ සඳහා වඩා සුදුසු වන්නේ කිරි වේලක් දීමෙන් පසු කාලයයි.

1.  දර්පණයක් (කණ්නාඩියක්) ඉදිරිපස රූපයේ දැක්වෙන අයුරු සිටගෙන පියයුරු දෙකම ප‍්‍රමාණයන්ගෙන් සමානදැයි විමසන්න. එසේම වර්ණය දෙසත් ස්වභාවය දෙසත් නෙත් යොමන්න.

2. ඔබේ දෑතම ඉහළට ඔසවා ඉහත අයුරින් පරීක්ෂා කරන්න.

3. තන පුඩුවෙන් ශ‍්‍රාවයක් වෑස්සේ දැයි බලන්න.

4. උඩුබැලි අතට නිදාගැනීමෙන් පසු ඔබේ දකුණු අත්ලෙන් වම් පියයුරත්, වම්    අත්ලෙන් දකුණු පියයුරත් පරීක්‍ෂා කරන්න.

තද එහෙත් මෘදු ලෙස අත්ලෙහි පළමු ඇඟිලි 4 උපයෝගී කරගන (රූපය බලන්න) රවුමට පියයුර අල්ලා බලන්න.

5. සිටගෙන හෝ හිඳගෙන ඉහත ලෙසම පරීක්ෂා කරගන්න.

6.යම්කිසි සැක සහිත තත්ත්වයක් ඔබට වැටහී ගියහොත් වහාම ඔබේ   වෛද්‍යවරයා හමුවන්න.


(එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.)



අදහස් (0)

රැකගන්න පියයුරු දෙන්න මව්කිරි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site