(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින කණ්ඩායම යළිත් පක්‍ෂය හා එක්වන්නේ නම් ඔවුන්ට ඇමති තනතුරු අත්හරින්නට සිදුවන බව එම පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

පක්‍ෂයේ සියලුදෙනා එක්වීම හොඳ දෙයක් වුවත්, ඔවුන් සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගැනීමට සිදුවූයේ පක්‍ෂ තීන්දුවට පටහැනිව ක්‍රියා කළ නිසා බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔවුන් යළිත් පක්‍ෂය සමඟ සාකච්ඡා කර ඇති අතර, ඔවුන් යළි පක්‍ෂයට එක්වන්නේ නම් ඇමතිධූර අත්හැර පැමිණිය යුතු බවත්, කොටසක් ආණ්ඩුවේත්, කොටසක් විපක්‍ෂයේත් සිටිමින් පක්‍ෂය ඉදිරියට ගෙනයාමට නොහැකි බවත් ජයසේකර මහතා කීවේය.

එම කණ්ඩායම සමඟ පැවැත්වෙන සාකච්ඡා හොඳ තැනකට තල්ලු කරගැනීමට උත්සාහ කරගන්නා බව කී ජයසේකර මහතා එතෙක් දැනට පවත්වන විනය පරීක්‍ෂණ ක්‍රියාවලිය දැනට ඉදිරියට ගෙන යන බව ද පැවසීය.

මහලේකම්වරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. රජය ගෙනඒමට යන ත්‍රස්ත විරෝධී පනත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් එහා ගොස් ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරන එකක් බව කී මන්ත්‍රීවරයා ඒ සඳහා සංශෝධන ගණනාවක් ගෙනඒමට බලාපොරොත්තු වන බව ද පැවසීය.