(ඩයනා උදයංගනී)

වර්තමානයේ විදුලිය සම්බන්ධයෙන් අර්බුදයක් ඇතැයි පිළිගන්නා බවත්, විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති කාලසටහනට අනුව ඉදිරි දින 10ක පමණ කාලයේදී යම් අවස්ථාවල විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවත් සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

මෙම විදුලි කප්පාදුකිරීම් සිදුවන්නේ අවශ්‍යතාව අනුව පමණක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලය මගින් විදුලිය කප්පාදු කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කර ඇත්තේ ජනතාවට පෙර සූදානම්වීමට අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් බව ද රමේෂ් පතිරණ මහතා කීවේය.
ඇමති රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ජන ජීවිතයට බාධාවක් නොවන ලෙස විදුලිය කළමනාකරනය කරගන්නා ලෙස ජනාධිපතිවරයා ද අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

දැනට අක්‍රීය වී ඇති නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රය යථාවත් කිරීමට තවත් දින 9ත් 10ත් අතර කාලයක් ගතවන බව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇතැයි කී රමේෂ් පතිරණ මහතා එය යථාවත් කළ පසු එනම් මේ මස 20 වැනිදායින් පමණ පසුව ගැටලුව බොහෝ දුරට විසඳෙනු ඇතැයි ද කීවේය.  

සපුගස්කන්ද බලාගාරය සඳහා අවශ්‍ය දැවි තෙල් යම් ප්‍රමාණයක් රට තුළ පවතින බවත් එය ක්‍රමානුකූලව මුදා හරිමින් සිටින බව ද හෙතෙම කීය.