යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනෙකු  වෙඩි තබා ඝාතනය කළේ යැයි සැකපිට  රිමාන්ඩ් බාරයේ සිටින යාපනය පොලීසියේ   පස්දෙනා  ලබන ජනවාරි 13 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස  යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා නියෝග කළේය.

ඇප ලබාදීමට තරම් සාධාරණ හේතුවක් නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන්ගේ ජීවිතවලට යම් අනාරක්ෂිත බවක් ඇති බවට නීතිඥයින් විසින් දැනුම්දීම නිසා සැකකරුවන් දිගටම අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා නඩු වාර දිනයන්ට පමණක් යාපනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

සිසුන්ට වෙඩි තැබූ බවට සැක කරන ගිනිඅවියේ  රසපරික්ෂක වාර්ථාව  ලබන නඩු වාරයට ඉදිරිපත් කරන ලෙස ද   නියෝග කැරිණි.

පසුගිය ඔක්තෝම්බර් 20 වනදා රාත්‍රියේ යාපනය සරසවියේ කලා පීටයේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි නඩරාජා කජන් හා 24 හැවිරිදි විජයකුමාර් සුලක්ෂන්   චුන්නාගම් කන්දරෝඩයි ප්‍රදේශයේදී වෙඩි පහරකට ලක්ව හා අනතුරකට ලක්ව මිය යාමෙන් පසුව එදින රාජකාරියේ යෙදී සිටි මෙම පොලිස් නිලධාරීන් පස්දෙනා සැකපිට අත්අඩංගුවට ගවනු ලැබූහ.

පොලිසිය මුලින් කීවේ මෙය රිය අනතුරක් බවයි. පසුව කළ විමර්ශනවලදී අනාවරණය වූයේ පොලිස් වෙඩි පහරින් සුලක්ෂන් සිසුවා මිය ගොස් සිටි බවයි.