(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනය ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී  අද (29) ඉල්ලීමක් කළේය.

එසේම එම වාර්තාවෙන් හෙළි කෙරුණු කරුණු සම්බන්ධයෙන්  කරුණු පැහැදිලි කිරීමක් කරන්නැයි  සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවද  හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ නියෝජ්‍ය කතානායකවරයාගේ  අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.

ළමා මන්දපෝෂණය  උග්‍ර  රටවල් අතර ශ්‍රී ලංකාව 6වෙනි තැනට පත්ව ඇතැයි  යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙන බව පවසන විපක්ෂනායකවරයා ළමා මන්දපෝෂණය අතින් දකුණු ආසියාවේ දෙවැනි තැනට පත්ව ඇත්තේද  ශ්‍රී ලංකාව බව සඳහන් කළේය.

හතළිස් තුන් ලක්ෂයක් වන පාසල් දරුවන්ට පාසල් දිවා ආහාරය ලබා දීමට වැඩපිළිවෙළක් අරඹන්නයි ඉල්ලීමක් කරන බව පැවසූ විපක්ෂනායකවරයා අතුරු අයවැයට එය ඇතුළත් කළ යුතු බවද ප්‍රකාශ කළේය.

විවිධ නිල නිවාස සෑදීමට මුදල් ලොකුවට වැය කරන අවස්ථාවක දරුවන්ගේ පෝෂණ තත්වය නැංවීමට රජය මීට වඩා අවධානය යොමු කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.