(ෂේන් සෙනෙවිරත්න)

ගස් කැපීම සඳහා උපයෝගී කරගන්නා යාන්ත්‍රික කියතකින් පුද්ගලයකුගේ කකුලක් කපාදමා ඝාතනය කිරීමේ සිද්ධියක් කටුගස්තොට පොලිසිය කියයි.

පුද්ගලයන් දෙදෙනෙකු අතර වැටක මායිමක් සම්බන්ධයෙන් පෙරේදා (30) සවස ඇතිව තිබෙන බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එක් අයකු ඔහු සතුව තිබූ යාන්ත්‍රික කියත පණගන්වා මියගිය අයගේ කකුල වෙන්වෙන ලෙස එල්ල කොට ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ .

එසේ මියගොස් ඇත්තේ ප්‍රදීප් ප්‍රසන්න (28) නැමැති අවිවාහක පුද්ගලයෙකි .

ප්‍රහාරය සඳහා යොදාගත් බව කියන යාන්ත්‍රික කියත සහ සැකකරු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා මියගිය අයගේ බාප්පා බව ද ඔහු වෘත්තියෙන් ගස් කපන්නකු බවද පොලීසිය කියයි .

මියගිය පුද්ගලයා සහ අත්අඩංගුවට ගත් සැකකරු හමංගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවන් බවද පොලිසිය කියයි .

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී. කේ. රත්නායක මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී දයාල් ඉලංකොන් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් එහි අපරාධ අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි .

(ඡායාරූප: මොහොමඩ් ආසික්)

මියගිය පුද්ගලයා