(සුජිත් හේවාජුලිගේ)

මොඩියුල සහ ගුරු අත් පොත් නිසි ප්‍රමිතියට සකස් කිරීම සහ ඒවායේ අන්තර්ගතයේ වගකීම පැවරීමේ අරමුණින් ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ අංශ දෙකක් පසුගියදා අලුතින් පිහිටුවනු ලැබීය.

තත්ව කළමනාකරණ ඒකකය සහ විෂය මාලා සංවර්ධන ඒකකය එම අංශ දෙක වේ.

එසේම මෙමගින් ආයතනය නිසි ක්‍රියාපටිපාටියකට ඇතුළත් කෙරෙන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවසීය.

මොඩියුල හා සම්බන්ධ විවිධ ගැටලුකාරී තත්වයන් හේතුවෙන් පසුගිය කාලයේදී සමාජයේ දැඩි ආන්දෝලනයක් ඇතිවිය. එම ගැටලුකාරී තත්වයන්ද මෙම නව ඒකක ස්ථාපනයෙන් මගහැරී යනු ඇතැයි අධ්‍යාපන බලධාරීහු විශ්වාසය පළ කරති.

අධ්‍යාපනය ගුණාත්මක තත්වයෙන් ඉහළ නැංවීම සහ ජාතික අධ්‍යාපන ආයතනය කාර්යක්ෂම ආයතනයක් බවට පත් කිරීම මෙහි අවසාන අරමුණ බව මධුර සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.