
(අංජුල මහික වීරරත්න සහ තිසර සමල්)
දෙදහස් විසි හය යනු ලංකා ඉතිහාසයේ රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩිම නිවාස ප්‍රමාණයක් ඉදි කෙරෙන වසර බවට පත්වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ව්‍යසනයෙන් පසු ආසන්න වශයෙන් නව නිවාස 20,000- 25,000ක් අතර ප්‍රමාණයක් ඉදි කර දීමට සිදු වන බව කී ජනාධිපතිවරයා ජන නිවාස සංවර්ධන අධිකාරිය යටතේ මීට පෙර සැලසුම් කර තිබු නිවාස 31,000 සමඟ නව නිවාස 50,000- 55,000ක් අතර ප්‍රමාණයක් මේ වසරේදී ඉදිවනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (09) ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල වසමේ, අලුබද්ද ගම්මානයේදී එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වී පුද්ගලයන්ට නිවාස ඉදිකර දීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ ආපදාවෙන් පූර්ණ ලෙස නිවාස අහිමි වූ නැවත එම ස්ථානයේම නිවාස ඉදිකළ හැකි පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර දීම සිදු කෙරෙන අතර, ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, පලාගල, පලුගස්වැව, ඉපලෝගම, තිරප්පනේ, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ව්‍යසනයෙන් පූර්ණ හානි සිදු වූ එම ස්ථානයේම නිවස ඉදිකරගත හැකි බවට තත්ත්ව සහතික ලද නිවාස 26ක් වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවසක වැඩ ආරම්භ කිරීම මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ලංකා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙවැනි විශාල වන්දි ලබා දෙමින් ජනතාව බලා ගැනීමට පාලකයන් මැදිහත් නොවු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා වත්මන් රජය ජනතාව බලාගත යුතු බවට තීන්දු කළ රජයක් බවත් ව්‍යසනයට මුහුණ දුන් ජනතාවට තිබුණාට වඩා උසස් ජීවන තත්ත්වයක් ගොඩනඟා දීමට නියත වශයෙන්ම කටයුතු කරන බවත් අවධාරණය කළේය.
එසේම ජනතාවට හොඳ ජීවන තත්ත්වක් ලබා දීමට නම් හොඳ ආදායමක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නිරෝගී සම්පන්න ජීවිතයක් සහ හොඳ නිවසක් මෙන්ම මානසික සුවය අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කරුණු 05 ඉටු කරදීම වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බවද අවධාරණය කළේය.


COMMENTS