(සිරංගිකා ලොකුකරවිට )

ගිං ග‍ඟේ වක්වැල්ල ප්‍රදේශයෙන් මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයකු ගඟට වැටී මියගොස් ඇතැයි තෙලිකඩ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගිනිමැල්ලගහ, දීපගොඩ පදිංචි අප්පුතන්ත්‍රි කංකානම්ගේ නිහාල් නමැති 59 හැවිරිදි පුද්ගලයෙකි.

පස්දරු පියකු වන ඔහු වත්තක මුරකරුවකු ලෙස සේවය කර ඇත

ඔහු තවත් කිහිප දෙනකු සමඟ වක්වැල්ල ලවණ බාධකය අසළින් ගිං ග‍ඟේ මාලු බෑමට ගොස් තිබිණි. මොවුන් ලවණ බාධකය මත තැන් තැන්වල සිට මාලු බෑමේ නිරතව සිට ඇත.

ගිය පිරිස  ආපසු නිවෙස්වලට යාමට සූදානම් වෙද්දී මෙම පුද්ගලයා පෙනෙන්නට නොසිටි බැවින් ඔහු ගඟට වැටෙන්නට ඇතැයි සිතා ප්‍රදේශවාසීන් සමග සොයා බැලීමේ දී ඉවුර ආසන්නයෙන් ගඟට වැටී සිටියදී හමුවී තිබේ.