පසුගිය කාලයේ චෝදනා එල්ල වූ ශ්‍රීලනිපයේ පිරිසකට නාම යෝජනා නොදීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දක්වන කණ්ඩායමේ කිහිප දෙනෙක් ද ඒ අතර සිටිති.

දුමින්ද සිල්වා, සජින් වාස් ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්වරුන්ට ද නාමයෝජනා නොලැබීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි කියයි.

හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා හිටපු ජනපතිට සහාය පළ කරන කණ්ඩායමේ නොවූවද ඔහුට ද නාමයෝජනා නොලැබීමට ඉඩ ඇතැයි එම ආරංචි සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පසුගිය සෙනසුරාදා (06) කීවේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාට නාමයෝජනා දීමට පොදු එකඟතාවයකට පැමිණ ඇති බවයි.

නාමයෝජනා කමිටුව අද (06) ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස් වීමට නියමිතය.

චෝදනා එල්ල වී ඇති පිරිසට නාමයෝජනා නොදෙන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පොදු අපේක්ෂකයාව සිටිය දී සහාය දැක්වූ පිරිසක් ඉල්ලා තිබිණි.