රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඇති එක්සත් ජාතික පක්ෂය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානය අගෝස්තු අට වැනි දා ජනතා තීන්දුව නිසි ලෙස තේරුම් ගෙන නැති බවත්, එම පක්ෂ දෙක අතීතයට එකතුවූ පක්ෂ බවත්, රටේ යහපාලනය ගොඩ නැගීම සඳහා ඉදිරි මහ මැතිවරණයේ දී නව පෙරමුණක් ගොඩනගන බවත් විදුලිබල හා බලශක්ති ඇමැති ජාතික හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා කීවේය.

බත්තරමුල්ලේ හෙළ උරුම පක්ෂ කාර්යාලයයේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් රණවක මහතා කීවේ එම පෙරමුණට එකතු වන ලෙස සියලු පක්ෂවල යහපාලනයට කැමති, ප්‍රගතිශීලී බලවේගවලට ආරාධනා කරන බවයි.

එම පෙරමුණේ නම සහ ලකුණ ඉදිරියේ ප්‍රසිද්ධ කරන බව ද, මේ වන විට බොහෝ දෙනකු සමඟ සාකච්ඡා කරගෙන යන බව ද, ජනවාරි අට වැනි දා විප්ලවයට සහාය දැක්වූ බලවේගවල සහයෝගය එම පෙරමුණට ලැබෙතියි විශ්වාස කරණ බව ද ඇමැතිවරයා සඳහන් කෙළ්ය.

‘ජාතික හෙළ උරුමය කියන්නේ මේ රටේ තීරණාත්මක අවස්ථාවලට මුල් වූ පක්ෂයක්. ත්‍රස්ත විරෝධී පෙරමුණ සකස් කර  ෆෙඩරල් මතවාදයට එරෙහිව හඬ නැඟුවා. ඒකීය භාවය ඇති කරන්න වෙහෙසුණා. ජාතික හෙළ උරුමය ගොඩ නැගීමෙන් පසු ප්‍රභාකරන් පරාජය කිරීමට අවශ්‍ය දේශපාලන වටපිටාව හැදුවා. අපේ හිමිවරුන් ගිහින් මාවිල්ආරු සොරොව්ව විවෘත කරන්න බල කිරීමෙන් පසු ඇතිවුණු මානුෂීය මෙහෙයුහ අවසන් වුණේ ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුවයි.

ඉන් පසු මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කරන්න මුල් වුණා. පළමු වෙඩි මුරය තිබ්බේ අපි.

ඒ වගේම ඉදිරි මහ මැතිවරණයේ දී අපි පෙරමුණකින් සන්ධානයක් විදියට ඡන්දෙට එනවා. ‘

ප්‍රශ්නය - හිටපු ජනපතිට නාමයෝජනා ලබා දීම ගැන ඔබේ අදහස?

පිළිතුර - ජනතාව ඊට පිළිතුරක් දෙයි. නාමයෝජනා දීම ඒ පක්ෂයේ කාර්යයක්. අපට එය වැදග් නැහැ. මේ රටේ යහපාලනය ගොඩනගන්න පුළුවන් පෙරමුණක් අපි ගොඩනගනවා.

ප්‍රශ්නය - ජනපති සිරිසේන බලයට ගේන්න ඔබේ පක්ෂයත් වෙහෙසුනා. දැන් ජනපති ඔබේ තීරණයට සහාය දක්වයිද?

පිළිතුර - ජනාධිපතිගේ ආශිර්වාදය අපට ලැබෙයි. ඔහුගේ අරගලය ඉදිරියට ගෙනියන්න තමයි අපි මේ පෙරමුණ හදන්නේ. එතුමා මධ්‍යස්ථ පුද්ගලයෙක්.

ප්‍රශ්නය - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාත් ඔබේ පෙරමුණේ ඉන්නවාද?

පිළිතුර - අනිවාර්යයෙන්ම ඔහුත් සිටිය යුතුයි. එපි හැම ප්‍රගතිශීලි බලවේගයකටම ආරාධනා කරනවා අප සමඟ එකතු වන ලෙස.

ප්‍රශ්නය - පෙරමුණේ නායකයා ඔබද?

පිළිතුර - හැමෝම නායකයන් තමයි

ප්‍රශ්නය - අගමැති අපේක්ෂකයා කවුද?

පිළිතුර - තවම ඒ ගැන තීරණයක් නෑ.

ප්‍රශ්නය - ශ්‍රීලනිපයේ සහාය ලැබෙනවාද?

පිළිතුර - සෑම පක්ෂයකම ප්‍රගතිශීලී බලවේග අප සමඟ එක් වෙයි කියා බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය - පක්ෂයේ නම සහ ලකුණ කුමක්ද?

පිළිතුර - අපි ඒ ගැන මැතිවරණ කොමසාරිස් සමග සාකච්ඡා කරනවා. ඉදිරියේ තීරණයක් ගෙන කියන්නම්.

web1