(සුජිත් හේවාජුලිගේ )

වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීහු හෙට ( 4) කැබිනට් මණ්ඩලය හමුවට කැඳවෙති.

මෙයට අමතරව මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකුවේ ප්‍රධානීන් හෙට( 5) පක්ෂ නායක රැස්වීම සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවටද කැඳවීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට මහ බැංකුවේ ප්‍රධානීන් කැඳවෙන්නේ හෙට පෙරවරු 10.30ටය.

ඉන්පසු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට එම ප්‍රධානීන් හෙට පෙරවරු 11.30 ට කැඳවෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මහා බැංකු ප්‍රධානීන් මුදල් කාරක සභා රැස්වීමට කැඳවීමට පෙර පක්ෂ නායකයන්ගේ රැස්වීමට කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් දැනටමත් විරෝධය පළ කර ඇත. විරෝධය පළ කළ පිරිසේ ඇමතිවරු පිරිසක්ද සිටිති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ මහ බැංකු නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම පාර්ලිමේන්තුව මෙතෙක් අනුමත කර නැති බවයි.

ඔවුන් එලෙස වැඩි කර ගැනීම සදාචාරාත්මක නොවන සිද්ධියක් බව හෙතෙම පෙන්වා දෙයි.