මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා එළැඹෙන මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයට බල කරමින් පසුගිය 18 දා නුගේගොඩ පැවැති රැස්වීම කාල බෝම්බයක් පිපිරී ගිය ස්වරුපයක් ගෙන ඇති බව පසුගිය සතියේ වාර්තාවූ සිදුවීම්වලින් පැහැදිලිය.
නුගේගොඩ රැස්වීමට බලාපොරොත්තුවූ ප්‍රමාණයට වඩා අති විශාල ජනකායක් සහභාගිවීම ඊට හේතුව විය.
මෙම රැස්වීම සංවිධානය කරනු ලැබුයේ විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ විසිනි.
මෙම රැස්වීමේ විශේෂ සිදුවීම් දෙකක් විය. ඉන් පළමුවැන්න වූයේ අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට රැස්වීමේදී ඉස්මතුවී ආ ජනතා ප්‍රතිචාරයට තමන්ගේ අකමැත්තක් නැති බව ඇඟවෙන විශේෂ පණිවිඩයක් රැස්වීමට එවා තිබීමය. රාජපක්ෂ මහතාගේ එම පණිවිඩය රැස්වීමේදී කියැවුයේ ආචාර්ය දයාන් ජයතිලකය.
අනෙක් සිදුවීම බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග හිටපු ඇමැති කුමාර වෙල්ගම සහ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇතුළු පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වීමය.
නුගේගොඩ රැස්වීම පිළිබඳව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ නායකයකු මෙන්ම විපක්ෂ නායකවූ නිමල් සිරිපාල ද සිල්වා මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරුන් කියා සිටියේ එය ශ්‍රීලනිප රැස්වීමක් නොවුනත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ කීපයක් විසින් සංවිධානය කරන රැස්වීමක් නිසා කැමති අයට එම රැස්වීමට සහභාගී විය හැකි බවය.
රැස්වීමෙන් පසුව කටුනායක හෝටලයකදී පැවැත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් උදෙසා වැඩමුළුවේදී නුගේගොඩ රැස්වීමට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිළිබඳව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමු විය.
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගනු ලැබූ නුගේගොඩ රැස්වීමට සහභාගි නොවීමේ තීරණය පක්ෂයේ ඉහළම නිලධාරීන් විසින් පහළ මට්ටමේ සාමාජිකයන්ට සන්නිවේදනය නොවීම පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ශ්‍රීලනිප ඉහළ නිලධාරීන්ට දොස් පැවරීය.
මේ වනාහි නුගේගොඩදී පුපුරා ගිය කාල බෝම්බයේ කැබලි ශ්‍රීලනිප අභ්‍යන්තරය තුළට විසිවී ගිය ආකාරයක් දිස්වෙයි.
මෙම සමුළුවේ සිදුවීම්වලින් පසුව ශ්‍රීලනිප ඉහළ නිලධාරීන් පෙළ දැන් වේවැල අතට ගෙන ඇත.
විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා හිරු රූපවාහිනිය සමග පැවති ‘රට සහ හෙට‘ සම්මුඛ සාකච්ඡාවේදී කියා හිටියේ අගමැති අපෙක්ෂක යනුවෙන් තනතුරක් නොමැති බවත් එය මනකල්පිත දෙයක් බවත්ය.
නුගේගොඩ රැස්වීම සංවිධානයේ මූලිකයා විමල් වීරවංශ ගැන සඳහන් කරමින් සිල්වා මහතා කීවේ විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවන බවත් ඔවුන් කරන්නේ මැතිවරණයකදී අපෙන් ටිකට් ලබාගෙන තරඟ කිරීම පමණක් බවත් කීවේය.
එතැනින් නොනැවතී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රබලව අවධාරණය කළේ ‘අගමැති සිහිනය‘ අතහැර දමා සියලු දෙනාම එළඹෙන මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කිරීමට උර දෙන ලෙසය.
මේ ප්‍රකාශ විලන් ප්‍රබලව ඉස්මතුවන්නේ විමල් වීරවංශ මහතා ප්‍රමුඛ සන්ධානයේ පක්ෂ 4 ක් මුළු රට පුරා ගෙන යන මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබාදීමේ දැවැන්ත ව්‍යාපාරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ලවූ ආකාරයයි.
මේ ප්‍රකාශ වලින් පසුව විපක්ෂ නායකවරයාගේ ඉහතින් සඳහන් කළ මතයට අනුගත වන බවත් ප්‍රකාශ කිහිපයක් ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.පවුසි සහ ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් යන මහත්වරුන් විසින් ප්‍රකාශ කරනු ලැබීය.
මේ ප්‍රකාශයන් එළි දැක්වූයේ හිටපු අමාත්‍ය පවුසි මහතාගේ නිවෙසේ පැවැති ශ්‍රීලනිප සාමාජිකයින් ගේ රැස්වීමකදීය.
මෙහිදී මුලින්ම කරුණු දැක්වූ හිටපු ඇමැති පවුසි මහතා තම සාමාජිකයන්ට කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිනරණයෙන් පරාජය වන බව තමන් හොඳින්ම දැන සිටි නමුත් ඒ බව පාක්ෂිකයින්ට නොකීවේ ඔවුන් අධෛර්යයට පත් විය හැකි නිසාත් බවය.
‘‘සුළු ජාතීන්ගේ ලක්ෂ 15 ක් ශ්‍රිලනිපයට ලැබුණේ නැහැ. ඒ ලක්ෂ 15 ජනාදිපතිවරණයේදී අල්ලන්නෙ කෙහොමදැයි‘‘ පවුසි මහතා මෙහිදී විමසීය.
අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙහිදී කියා සිටියේ එක්තරා දෛවෝපගත කථාවක්ය.
‘‘හිටපු එජාප ඇමැතිවරයකු මෙන්ම එජාප ලේකම්වරයකුව සිටි එච්.ඩී.එච්.ජයවර්ධන මහතා හමුවීමට කොලුගැටයෙක් ඔහුගේ නිවසට පැමිණියා.
මේ කොලු ගැටයා අවේ කොළඹ නගරාධිපතිවරයකු මෙන්ම හිටපු ඇමැතිවරයකු වූ ටී.ඒ.සුගතදාස මහතාගේ ලිපියක් රැගෙනය. ඒ පාන් අදින වෑන් එකකින්ය.
කොලු ගැටයා ජයවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේ කොළඹ මහ නගර සභාවට තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනාවය.
එදා එලෙස ජයවර්ධන මහතාගෙන් නාම යෝජනා ලබාගත් මේ කොලු ගැටයා පසුව මේ රටේ ජනාධිපතිවී ජයවර්ධන මහතා නියෝජනය කරන කොට්ටාවට පැමිණි වෙලේ ජනාධිපතිවූ මේ කොලු ගැටයා පිළිගැනීමට ජයවර්ධන මහතා ලොකු තොරණක් හදා පිළිගත්තේය.
දේශපාලනයේ හැටි මෙහෙම තමයි කියා ඔහු තම කථාව අවසන් කළෙය.
මේ කථාවෙන් ප්‍රියදර්ශන මහතා අදහස් කළේ කුමක්ද? ව්‍යංගයෙන් ඔහු කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනයෙන් සමුගැනීමේ කාලය පැමිණ ඇති බව නොවේද?
ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන බවට නොයෙක් වාර්තා ජනාධිපතිවරණයට කලින් තමන්ට ලැබුණු බවත් ඒවා පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළත් ඒ පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා පරාජය ලැබූ බවත් කීවේය
අගමැති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම සහ ඊට ප්‍රතිවිරුද්ධ මත ප්‍රකාශ වෙද්දී විමල් විරවංශ මහතා ප්‍රධාන සන්ධානයේ ප්‍රධාන පක්ෂ 4 නුගේගොඩ රුස්වීමෙන් පසුව පවත්වන දෙවැනි මහජන රැලියට සූදානම් වෙමින් සිටියහ.
එම රැලිය මෙවර පැවත්වෙන්නේ මහනුවරදීය. මෙම රැලිය මහනුවර පැවැත්වීමට විශේෂ හේතුවකන්ද පාදකවී තිබේ.
බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාව ඔවුන්ගේ යටත් විජිතයක් ලෙස ප්‍රකාශයට පත් කළේ මෙයට හරියටම වසර 200කට පෙර 1815 මාර්තු 2 දිනය.
නිදහස් අරගලය ආරම්භ වූයේ ඉන් පසුවය. යළිත් නිදහස් අරගලය ඇරඹීම සංකේතවත් කරමින් රැලිය මාර්තු 6 වැනි දින පැවත්වීමට තීරණය විය.
මෙම රැලිය පැවැත්වෙන බව ප්‍රකාශයට පත්වීමත් සමගම ශ්‍රීලනිප මහලේකම්වරයා හදිසි නිවේදනයක් නිකුත් කළේය. ශ්‍රීලනිප මහජන නියෝජිතයන් සහ සාමාජිකයන් වෙත එම නිවේදනයෙන් දක්නා ඇත්තේ ශ්‍රිලනිප සංවිධානයෙන් තොරව වෙනත් දේශපාලන පක්ෂ විසින් පවත්වන රැලිවලට ශ්‍රිලනිප නියෝජිතයින් සහභාගි නොවිය යුතු බවය.
මෙම නිවේදනය නිකුත් කිරීමෙන් පසුව බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ශ්‍රීලනිප නියෝජිත ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත කියා සිටියේ පක්ෂයේ ඉහළ නිලධාරීන් කුමන නිවේනයක් නිකුත් කළත් තමන් එම රැලියට සහභාගිවන බවය. ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් මන්ත්‍රීවරුන් පිරිසක් සමග පසුගියදා නුගේගොඩ පැවැති රැලියට සහභාගිවූයේ පෙළපාලියකින් රැස්වීම් භූමියට පැමිණෙමින්ය.
නුගේගොඩ රැස්වීමේදී වේදිකාව තුළ අලෙවි වූයේද ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ය. වරින්වර වේදිකාවේ සිටි නිවේදකයින් ජනතාවට ප්‍රකාශ කළේ අහවල් ශ්‍රීලනිප මන්ත්‍රිවරයා රැස්වීමට පැමිණි ආකාරය ගැනය. එය අවසන් කළේ රැස්විම සඳම ශ්‍රිලනිප පාර්ලිමේන්තු පළාත් සභා සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 90කට වැඩි පිරිසක් වේදිකාව අසලටම පැමිණ ඇති බව දන්වමිනි. එයට අමතරව තවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් රැසක්ම ජනතාව අතර සිටිමින් රැස්වීමේ කථාවලට සවන් දෙන බවත් නිවේදකයෝ වරින් වර පැවසූහ.
කෙසේ හෝ මේවන විට මහින්ද රාජපක්ෂ මහතා මීළඟ අගමැති අපේක්ෂකයා කිරීමේ සටන ශ්‍රිලනිපය තුළ අර්බුදයක් බවට පත් වීම වැලැක්විය නොහැකි තත්ත්වයටක පත්ව ඇති බව බැලු බැල්මයට පෙනී යයි.
නුගේගොඩ රැස්වීමට සහභාගිවු හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා මේ සතියේ දෙරණ රූපවාහනියේ 360 වැඩසටහනට කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලනයට සහභාගී නොවිය යුතු බවට ඔහු අදහස් කරන බවය. පක්ෂයට අනුශාසනා කරන උපදේශකයකු ලෙස එක්ව හිටපු ජනපතිනිය හා වත්මන් ජනාධිපති සමග සහයෝගයෙන් ශ්‍රිලනිපය දිනවීමට හිටපු ජනපතිවරයා කටයුතු කළ යුතු බවත් ඔහු පවසයි. නමුත් පසුගියදා නුගේගොඩ පැවති රැස්වීමට සහභාගිවූයේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා විය යුතුය යන අදහස පෙරදැරි කරගෙනය. කටුනායක පැවැති සමුළුවෙන් පසුව ඔහුගේ අදහස වෙනස්වී ඇත්තාක් සේ පෙනේ.
නමුත් බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා තරයේම කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා මීළඟ අගමැති අපේක්ෂයා කිරීමේ සටන අත්නොහරින බවය.
අර්බුදය මෙලෙස නිර්මාණය වෙද්දී මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපෙක්ෂකයා විය යුතු බවට ගෙන යන ව්‍යාපාරයේ දැවැන්තයකු වන පිවිතුරු හෙළ උරුමයේ උදයගම්මන්පිල මහතා ශ්‍රිලනිප මහලේකම් යාපා මහතා පාක්ෂිකයන්ට නිකුත් කළ නිවේදනය දැඩි ලෙස විවේචනයට ලක් කරයි.
මහින්ද රාජපක්ෂ අගමැති අපෙක්ෂකයා කිරීමේ කාර්යයට බාධා කරන්නන්ට අනතුරු අඟවා සිටින ඔහු පවසන්නේ මහනුවර රැලියට පැමිණෙන ශ්‍රීලනිප සාමාජිකයන් වැලැක්වීම‘‘ මහින්ද නමැති සුළි සුළඟ මකුළු දැලකින් වැලැක්විමට යත්න දැරීමක් වැනිය‘‘ ලෙසටය.
1977 දී සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ පරාජයත් සමග ශ්‍රීලනිපය මුහුණ දුන් අර්බුදයට සමාන අර්බුදයක් 2015දී මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමග ශ්‍රීලනිපය තුළ ඇතිවන ලකුණු පහළවී තිබේ.
දේශපාලන වශයෙන් ලබන පරාජයන් පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවන කැළඹීම්, හැල හැප්පීම්වලට හේතුවීම ස්වභාවිකය. නමුත් 77 දී ඇතිවූ පරාජය පක්ෂය පැහැදිලි වශයෙන්ම දෙපිලට බෙදුනි. සිරිමා පිළ සහ අනුර බණ්ඩාරනායක මෛත්‍රී පිළ වශයෙනි.
94 සිට එක්සත් ජාතික පක්ෂයත් දිගින් දිගටම පරාජයන් ලැබූ පක්ෂයක් විය. නොයෙක් බරපතල ගැටුම් ඇතිවුවත් පක්ෂය දෙකඩ වීමේ ආරවුලක් එහි ඇති නොවීය. ආරවුල් ඇතිවුණේ නායකත්වයටය.
නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු ශ්‍රීලනිපයට යළිත් කලින් තිබූ තත්ත්වයට මුහුණදීමට සිදුවී තිබේ.
ශ්‍රීලනිප මහලේකම් වරයාගේ නිවේදනයට පිටු පා 6 වැනිදා පැවැත්වෙන මහනුවර රැලියට ශ්‍රීලනිප නියෝජිතයන් සහභාගිවූවහොත් ඔවුනට විරුද්ධව අනිවාර්යෙන්ම විනය පියවර ගැනීමට සිදුවන බව ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
මේ තත්ත්වය විමර්ශනය කිරීමේදී වසර 20කට ත් අධික කාලයක් තිස්සේ පැවැති නිල් පැහැති විල් තෙර බොරදිය පොකුණක් වන පෙරමග ලකුණු දැනටමත් පහළ වී ඇත.
ආණ්ඩුව පාර්ශවයෙන් ගත්තත් එහි අභ්‍යන්තරයද සාමකාමී නැත.
ජනාධිපතිවරණයේද එකම මතයක පිහිටා මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවා ජනාධිපතිවරණය ජය ගත්තද ආණ්ඩුව තුළ සිටින දේශපාලන පක්ෂ අතර විවිධ මත ගැටුම් එළියට පැමිණිම දැනටත් දක්නට ලැබේ.
ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය කියන්නේ අප්‍රේල් 23 දායින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවය. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් නොවුවත් ඔවුන් අද දැඩිව කියා සිටින්නේ අප්‍රේල් 23 දායින් පසුව ආණ්ඩුව මහ මැතිවරණයට යා යුතු බවයි.
මෛත්‍රිපාල සිරිසේන මහතා සමග මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට පැමිණි ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුවූ වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ මහජනයාට වැදගත්වන්නේ දින 100 නොව මැතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දු සියල්ල ඉටු කිරීම බවය.
විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය පමණක් සංශෝධනය කිරීමට ඔවුන් විරුද්ධ බවය. විධායක ජනපති ක්‍රමය වෙනස් කරන්නේ නම් සමානුපාතික ඡන්ද ක්‍රමයක් ඒ සමගම වෙනස් කළ යුතු බවත් ඒ සඳහා සින 100 ප්‍රමාණවත් නොවේ නම් තවත් කාලය ගැනීම සඳහා ඔවුන්ගේ සහාය ලබාදෙන බවත්ය.
මෙලෙස ආණ්ඩුවේත් විපක්ෂයේත් ඇතුළත සහ පිටත ගැටවලින් පිරී පවතී. මෙයින් වැඩිම හානිය සිදුවිය හැකියයි අනුමාන කළ හැක්කේ ශ්‍රීලනිපයටය. එය 6 දා පැවැත්වෙන රැලියත් එයට සහභාගිවන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවත් අනුව තීරණය වනු ඇත.
යම් හෙයකින් එම රැලියට ශ්‍රීලනිප මහ ලේකම්වරයාගේ තහංචිය නොතකා ශ්‍රිලනිප මහජන නියෝජිතයන් බහුතර සංඛ්‍යාවක් සහභාගිවුවහොත් ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීම ලෙහෙසි නොවේ. සුළුතරයක් සහභාගි වුවහොත් එය ඔවුන්ගේ අනාගතය තීරණය කෙරෙන සාධකයක්ද වනු ඇත.
කෙසේ නමුත් මේ සියලු දෙනාම දැලි පිහියෙන් කිරිකන අභ්‍යාසයක යෙදී සිටින බව නම් පැහැදිලිය.
යම් ලෙසකින් මහින්ද රාජපක්ෂ මහතා සක්‍රීය දේශපාලනයට පිවිසීම අනාගතයේදී ප්‍රතික්ෂේප කළහොත් ඔහුව අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කළ දේශපාලන නායකයින් සහ මන්ත්‍රීවරුන්ගේ අනාගතය කෙබඳු වේද?
එසේත් නැතහොත් මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයෙන් හැර වෙනත් දේශපාලන පක්ෂයකින් අගමැති ලෙස ඉදිරිපත් වුවහොත් ශ්‍රීලනිපය දෙකඩවීම වැළැක්විය හැකි ජගතකු මිහිපිට ඉතිරි නොවේ.
එසෙත් නැතිනම් මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක ලෙස ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවත් ශ්‍රීලනිපය දෙකඩ වීම වැලැක්විය නොහැකිය.
අනෙක් අතට හිටපු ජනාධිපතිනිය සහ වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ සිටින තාක් කල් මහින්ද රාජපක්ෂ මහතාට මේ කපේදී අගමැති අපේක්ෂකයා වනු බොඳවූ සිහිනයක් පමණක්ම වනු ඇත.
‘‘නිල් දිය තෙර බොරදිය පොකුණක් වෙයිද‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න එපා යකා කියන තරම් කළු නැහැ කියලා කතාවක් තියනවානේ ඒ වගේ තමයි මේකත් ඔය සද්දේ දැම්මට දෙතුන් දෙනෙක් වත් යන එකක් නැහැ ගිය පාර වැඩි හරියක් ගියේ පක්ෂයෙන් හරියටම තීන්දුවක් ගත්තේ නැති නිසා මෙදා සැරේ හරියටම කියලා තියනවා වෙනත් දේශපාලන පක්ෂවල රැස්වීම වලට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහභාගී නොවිය යුතු බව. ඒ නිසා තමන්ගේ මන්ත්‍රීකම රැකගන්නයි ඊළග ඡන්දයදී නාම යෝජනා ලබා ගන්නයි ඕන නිසා ඔය කව්රුවත් යන එකක් නැහැ. (දිල්)
*අපි බයයි සුදු වෑන් යුගයකට... *අපි බයයි මන්ත්‍රීවරු මිනීමරන යුගයකට... *අපි බයයි අධිකරණය රූකඩයක් උන යුගයකට... *අපි බයයි ජනතා මුදල් මංකොල්ලකන යුගයකට... *අපි බයයි උද්ගෝෂණ වලට වෙඩිතියපු යුගයකට... *අපි බයයි රාජ්‍ය මාද්‍ය බත්බැලයන්ගෙන් පිරුනු යුගයකට... *අපි බයයි ප්‍රතිවාදියා හිරේ දාලා පලිගන්න යුගයක් ආපහු එනවට... *අපි බයයි කුඩුකාරයෝ ආරක්ශක අමාත්‍යන්ශයට එනවට... *අපි බයයි එතනෝල් කාරයෝ ආපහු ආණ්ඩු කරනවට... *අපි බයයි රාජපක්ෂ නම කියද්දි ''ටීක්'' ගාන යුගයකට... කොටින්ම අපි බයයි 8 වෙනිදා දිනාගත්ත ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙනවට.... (නදී)
බලය උදෙසා මේ හැම දෙයක්ම (දිල්)
පැහැදිලියි රටට සිදුවන දේ... ඉතින් අපි කුමක් කරමුද ? පාවාදීම්, බඩ වඩාගැනිමි මිස රට පෙරට යනු කෙලෙස? ඉතින් අපි නිහඩව බලා ඉමු ? (නදී)
කට්ටිය අහනවා ඇයි මහින්දට බයද කියල,, පුද්ගලයාට නෙවේ ඔහු හා ඔහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේදය යලිත් එනවට නම් බයයි, මහින්දට බය වෙන්න දෙයක් නැහැ ඔහු මෑතකදී ඡන්දෙන් පරද්දපු කෙනෙක්, මාස 2 කලිනුත් ඔය කට්ටියම හිතන් හිටියේ මහින්දට හැමෝම බයයි රජා තමයි කියලයි, එත් ඡන්දෙදි පැහැදිලිවම පෙන්නුවා ජනමතය (බ)
මොන පක්ෂයෙන් ඉල්ලුවත් මහින්ද උඩින්ම දිනනවා. (නි)
රට බේරාගන්න මහින්ද මහතා නැවත අගමැතිකම ලබාගන්නම ඕනෑ (නි)
අපි කවදත් මහින්දට තමයි. අපිට මහින්දම තමයි ඕනෑ (නි)
සත්‍යපාල, විරාජ් හොඳටම බයවෙලා වගේ. ටිකක් ඉවසලා ඉන්නකෝ. ජනතාව තීරණය කරයි.(නදී)
මහින්ද ඔච්චර වැඩ කාරයානම් ඇඩ්රස් නැති වෙලා ඉන්න අය එක්ක තනියම තරග කරලා එන්න කියන්න. මිනිස්සු ඡන්දෙ දුන්නේ ශ්‍රීලංකා එකට මිසක් මහින්දට නෙවේ. ඡන්දෙට වෙනම ඇවිල්ල පාර්ලිමේන්තුවට කොහොම හරි රිංගල අගමැති වෙන්න තමයි මිනිහගේ කල්පනාව. (නදී)
බහුතර ජනතාවගේ මතය මහින්දය. (ර)
අපරාදේ මහින්දට තව අවුරුදු 2ක් රට කන්න ඉඩ තියෙද්දී නිකම් ඉල්ලගෙන කෑවා. දැන් ඉතින් අනෙක් අය කාල ඉවරවෙනකොට මහින්ද හැරමිටියෙන් යන කාලේ. අනෙක මහින්ද ආවත් අගමැතිකම ලැබෙන්නේ එක්කෝ විමල්ට නැත්නම් නාමල්ට. අනික් අයට නිලිමස් සහ අසීමිත ලෙස හොරකම් කරන්න ලැබෙනවා. එච්චරයි (නදී)
අපටත් රටටත් ඕනේ මහින්දමයි, ඇයි මහින්දට ඔයතරම් බය දෙයියනේ (නදී)
මිනිස්සුන්ට දැන් තේරුම් ගිහින් තියෙනවා කරගත්තේ මෝඩ තකතීරු වැඩක් බව. රට දැන් අනතුරක බව පේනවා.(නදී)
දෙපාරක් බලයේ හිටියා මදිද? ව්‍යවස්ථාව වෙනස් කරලා දිගටම ඉන්න හැදුවා එ්ත් ජනතාව ඡන්දෙන් පරාද කළා. පැරදිලා තාම මාස 3 ක් ගියේ නෑ එ්ත් ආයෙත් බලයට එන්නමයි කෑදරකම. එයාලා විතරද මේ රටේ ඉන්නේ? වෙන කෙනෙක්ට රට පාලනය කරන්න බැරිද ? මොකද්ද මේ නාඩගම ? (නදී)
මහින්දගෙන් පලිගැනීමට හිතා, චන්ද්‍රිකා එකතුවී කෙරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කර තමනුත් විනාශය කරා යන දෙයක් බව දැන් මුළු රටටම අවබෝද වී හමාරයි. නමුත් එයින් කිසිම හානියක් මහින්දට සිදුවෙන්නේ නැති උනාට එම පක්ෂයේ වර්තමාන නායකයන්ගේ අනාගත ඉරණම ඉතා අඳුරු වී ඇත. ඔවුන්ගේ නියම ස්වරූපය දැන් මහජනයා හඳුනාගෙන අවසන්. (නදී)
ලංකාවේ දේශපාලනය ඔහොම තමා. රටට පෙර තමා. (ර)
සරුසාර අදහස් වලින් පෝෂණය වූ ලිපියක්. (බ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් සියලුදෙනාම මාන්නය,ක්‍රෝධය, වෛරය ඉවත් කරලා සමගි උනොත් පක්ෂය ඉදිරියට යයි. නැත්නම් ඡන්ද දායකයාට වෙනතක් බලාගන්න වේවි. (බ)
මහින්ද අගමැති කරන්නේ ජනතාව ඒක නවත්වන්න ඔය කාටත් ටිකක් වෙලා යයි (බ)
වැදගත් තමාට පෙර රට (බ)
මහින්දට බය ජනතාව එතුමාට ආදරේ නිසා. අපේ රටට ගැලපෙන නායකයා එතුමා. (ර)
හැමෝම මේ අයගේ ලණු කාලාද කොහෙද (දිල්)
අගමැති වෙන්න ශ්‍රි ල නි පයේ කවුරුත්ම නැද්ද ?අලුත් නායත්වයක් තිබුනානම් හොදයි නේද (දිල්)
මෙයාලා මහින්ද මහත්තයව නවත්වන්නමයි හදන්නේ. ඇයි මෙච්චර බය (දිල්)
මොකද මේ තරම් බය (දිල්)