(හේමන්ත රණසූරිය)

කැබිතිගොල්ලෑව පදවිය ප්‍රධාන මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී සුදු ඉර සහිත පදික මාරුවේදී වෑන් රථයක ගැටුණු  නව හැවිරිදි දැරියක අනතුරින් දින හතරකට පසු මියගිය බව පදවිය පොලිසිය කියයි.

පසුගිය (21) දින වෑන් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා පදවිය රෝහලට ඇතුළත් කළ දැරිය  වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.  එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ   රාත්‍රියේ එම දැරිය ජීවිතක්ෂයට පත් වූ බව පදවිය පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කදුරුවැව බෝගහවැව ලිපිනයේ පදිංචි සනුල්ලියා නැමැති නව හැවිරිදි දැරියකි.

ඇය  උපකාරක පන්තියකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පදික මාරුවේදී නව හැවිරිදි දැරිය අනතුරට ලක් වූ අවස්ථාවේ එම වෑන් රථය එම ස්ථානයේ නොනවත්වාම රියදුරා පදවිය පොලිසිය වෙත වෑන් රථය සමගම භාර වී ඇත.