2017-01-03-ent-50

‘මරතෝන්ඩි’ ගීතය හරහා ඉමහත් රසික ප්‍රතිචාර දිනාගත් ප්‍රසාද් අබේකෝන්ගේ අලුත්ම ගීත දෙකක් මේ වනවිට එළිදක්වා ඇත. ‘මන්දාකිණි’ හා ‘තල්ගස් අරණේ’ නම් වූ මෙම ගීත සමගින් ගීත රූප රචනාද නිකුත් කර ඇති අතර, එයට ඉහළ රසික ප්‍රතිචාර මේ වනවිට හිමිවෙමින් පවති. සිය අලුත්ම ගීත පිළිබඳව ප්‍රසාද් ‘සාරවිට’ අපි සමගින් මෙසේ තොරතුරු හුවමාරු කරගත්තෙමු.

2017-01-03-ent-49“මා රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වුණේ ‘මරතෝන්ඩි’ ගීතයෙන්. මම හිතන්නෙ එහි තිබුණ වෙනස් ශෛලය නිසා තමා ඒ ගීතය රසිකයන් අතර ජනප්‍රිය වෙන්න හේතු වුණේ. ඒ නිසාම තමයි එවැනිම වෙනස් නිර්මාණයක් කරන්න මට හිතුණේ. ‘තල්ගස් අරණ’ කියන්නෙ මගේ අලුත්ම ගීත අතරින් එකක්. ඒ ගීතයත් අර මා කලින් නිර්මාණය කළ ‘මරතෝන්ඩි’ ගීතය මෙන්ම වෙනස්ම ආරේ ගීතයක්. මෙහි පද රචනාව වගේම සංගීතයත් වෙනස්. ඒ වගේම තමයි එම ගීතයට නිර්මාණය වුණ ගීත රූප රචනාව. වර්තමානයේ බිහිවෙන රූප රචනා සමග ගත්තොත් ‘තල්ගස් අරණ’ රූප රචනාව වෙනස්ම ආරේ රූප රචනාවක්. ඒ වගේම තමයි මගේ අනෙක් අලුත් ගීතය ‘මන්දාකිණි’. එයත් අද රැල්ලෙන් ඔබ්බට ගිය ගීතයක් හා රූප රචනාවක්.’

‘මන්දාකිණි’ ප්‍රසාද්ගේ පස්වැනි ගීත රූප රචනාව වන අතර, ‘තල්ගස් අරණ’ ඔහුගේ හයවැනි ගීත රූප රචනාව වේ. ‘තල්ගස් අරණේ’ ගීතය ප්‍රසාද් විසින් ලියා ඇති අතර, ඩිල්ශාන් එල්. සිල්වා විසින් සංගීතය මුසුකර තිබෙනවා. රූප රචනාව නිර්මාණය කර ඇත්තේ රවිදු කෞශල්‍ය අබේරත්න විසිනි. ‘මන්දාකිණි’ ගීතයද ප්‍රසාද්ගේම පද රචනයක් වන අතර, සංගීතය මඅලි එම්. වික්‍රමසිංහගෙනි. ගීත රූප රචනාව ‘පැන්ඩෝරා ඩිජිටල්’ ආයතනය වෙනුවෙන් ප්‍රභාත් රණවීර සිදු කර තිබෙනවා.

‘මේ ගීත දෙකෙන් පස්සේ තවත් අලුත් ගීත කිහිපයක් නිර්මාණය කරන්න මේ දිනවල මම සැලසුම් කරමින් යනවා. බොහෝ විට ඉදිරියේදී නිර්මාණ ගීතත්, ‘මරතොන්ඩි’ හා ‘තල්ගස් අරණේ’ වගේ වෙනස්ම තේමාවන් ඔස්සේ නිර්මාණය වේවි.’

ප්‍රසාද් ‘තල්ගස් අරණ’ ගීතය නිර්මාණය කරන්නට දායක වු සියලු දෙනාට සිය කතෘවේදීත්වය අවසානයේ පිරිනැමූ අතර, ‘පැන්ඩෝරා ඩිජිටල්’ ආයතනයේ ප්‍රභාත් රණවීරව විශේෂයෙන්ම මතක් කළේය. එමෙන්ම නිතරම තමාව දිරිමත් කරන සිය රසික, රසිකාවියන්ටද ප්‍රසාද් සිය හදෘයාංගම ස්තුතිය පිරිනමනු ලැබීය. ‘