(යොහාන් භාසුර)

බුදුන්වහන්සේ සියලු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගි වෙත්වා යනුවෙන් මිස අනුන්ගේ මරණයේදී ප්‍රීතිඝෝෂා නගන්නට දේශනා නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා අද (29) පැවසීය.

සිංහල බෞද්ධ සහ සිංහල ක්‍රිස්තියානි ජනතාව වැඩි පිරිසක් ජීවත්වන ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඉක්මවා ගිය මනුෂ්‍යත්වයේ අර්බුදයක් ඇති බව කී දිසානායක මහතා විපතේදි ප්‍රිති වියහැකි, ප්‍රිතිය බුක්තිවිදින නව දේශපාලන සංස්කෘතියක් මෙරට තුළ බිහිවෙමින් ඇති බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා බත්තරමුල්ල, නෙළුම් මාවත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද (29) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

අනෙකාගේ විපතේදී සතුටුවන, රතිඥ්ඥා පත්තු කරන, කිරිබත් උයන වර්තමාන දේශපාලන සංස්කෘතිය මනුෂ්‍යත්වය දෙදරවාගෙන ශ්‍රී ලාංකික දේශය මනුෂ්‍යත්වයේ වියළි කතරක් බවට පත්වෙමින් තිබෙන බවත් පක්ෂයක් සහ මනුෂ්‍යයෝ හැටියට පෙරේදා දිනය නොමැකෙන, ඛේදනීය දිනයක් බවත් ඒ මහතා කීය.

මෙරට කොටසක් සනත් නිශාන්ත නම් පුත්ලම් දිස්ත්‍රික් මහජන නියෝජිතයාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රීති ප්‍රමෝදයෙන් උන්මාදයට පත්ව සිටිය ද, පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවගේ සහ මෙරට කෘතගුණවේදී සංවේදී මිනිසුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සෝසුම් මැද සනත් නිශාන්ත මහතා අවසන් ගමන් ගිය බවත් 1993 මැයි 1 වැනිදා  රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇතුළු පිරිසක් කොළඹ ආමර් වීදියේදී කැලිවලට කැඩිලා ගිය අවස්ථාවේදී පිරිස් ප්‍රීතිඝෝෂා නැගු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඒ අවස්ථාවේදී තමන් ඇතුළු විශාල පිරිසක් එය අනුමත නොකළ බව කී ඒ මහතා පැවසුවේ ඛේදවාචකය තරම කොතරම්ද කිවහොත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා හදලා දුන්නු උදාගමේ සිටි සමහර පිරිස් කැවුම් පුච්චා ප්‍රීති වූ බවත්ය.  

ඉන් පසුව 2022 මැයි 9 වැනිදා කොළඹට ආපු අහිංසක කාන්තාවක් බේර වැවට බස්සලා රෙදි ගලවලා, බස් ගිනි තියලා, අතුකෝරාළ මන්ත්‍රිතුමා මරා දහස් සංඛ්‍යාත පිරිසගේ ගෙවල්වලට පහරදී සිය නිවස ඇතුළු නිවාස 76 ක් ගිනි තියලා විනාශ කර විපතේ ප්‍රිතිය බුක්තිවිඳපු දේශපාලන සංස්කෘතියක් නිර්මාණ්‍ය කළ බවත් ඉන්පසු පසුගිය 25 වැනිදා සනත් නිශාන්තයන්ගේ මරණයෙන් ප්‍රීතියට පත්වුණු දවස බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.