(නිමල කොඩිතුවක්කු)

මාර්ග අංක 174 කොට්ටාව - බොරැල්ල සහ මාර්ග අංක 255 කොට්ටාව- ගල්කිස්ස මාර්ගවල පෞද්ගලික බස්රථ දින තුනක් තිස්සේ වර්ජනය කිරීම හේතුවෙන් මගී ජනතාව දැඩි පීිඩාවට පත්ව සිටිති.

එම මාර්ග ආවරණය වන පරිදි සුඛෝපභෝගි බස් රථ සේවාවක් යෙදවීමට විරෝධය පළකරමින් ඉකුත් සදුදා (19) සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලැබීය.

බස් සංගම් දැනුවත් කිරීමකින් තොරව මෙම සුඛෝපභෝගි බස් රථ යෙදවීමට රජය පියවර ගෙන ඇති බව වර්ජනයේ නියුතු එම බස් රථ සේවකයෝ චෝදනා කරති.

මේ හේතුවෙන් පාසල් ළමුන්, කාර්යාල සේවකයන් අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා මගීන් ඇතුලු විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිති. කෙසේවෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඇතුලු ප්‍රධාන පෙළේ බස් රථ සංගම් මෙම බස් වර්ජනය සඳහා සහයෝගය පල කර නොමැති බවත් එම නියෝජිතයෝ පවසති.

මේ සම්බන්ධයෙන් කළ විමසිමකදී බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා සඳහන් කළේ නිසි ටෙන්ඩර් ක්‍රමවේදයක් යටතේ මගි ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙම බස් රථ සේවාව යොදවා ඇති බවයි.

කිසිදු හේතුවක් මත මෙම සුඛෝගභෝගී බස් රථ සේවාව ඉවත් නොකරන බවත් බස් රථ වර්ජනය අඛණ්ඩව පැවතියහොත් එම බස් රථ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළේය.