(විමුක්ති එස් රුද්‍රිගු)
මියන්මාර මුහුදු සීමාව තුළදී අත් අඩංගුවට ගෙන වසර 7 ක බරපතළ සිර දඬුවම් ලැබ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 15 දෙනා ඊයේ (16) පැවති මියන්මාර නව අවුරුදු උත්සවය වෙනුවෙන් සිදුකල සමාව දානය කිරීමේදී නිදහස් කර ගැනීමට හැකි වූ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
මෙම ශ්‍රී ලාංකියයන් නිදහස් කරගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ උපදෙස් මත මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කීපවතාවක්ම මියන්මාර හමුදා රජයෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළ බව තානාපති ජානක බණ්ඩාර මහතා පැවැසුවේය.මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මියන්මාරයේ රාජ්‍ය නායක ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් ආවුන්ග් ලායින්ග් පසුගිය මාර්තු 4 වැනිදා මුණ ගැසුණු අවස්ථාවේ එම ශ්‍රී ලාංකිකයන් 15 දෙනා නිදහස් කර ගැනීම සඳහා පුද්ගලිකව ඉල්ලීමක් කළ බවත් තානාපති ජානක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ඉහත උත්සාහයන් සියල්ලගේම ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකිකයන් 15 දෙනා මුදා ගැනීමට හැකියාව ලැබුණු බවත් ඉදිරියේදී එම ශ්‍රී ලාංකිකයන් මෙරටට එවීමට කටයුතු කරන බවත් තානාපතිවරයා පැවැසුවේය.
මියන්මාර මුහුදු සීමාවට නීති විරෝධිව ඇතුළු වීම හේතුවෙන් රයන් පුතා සහ ලෝරන්ස් ධීවර නෞකා දෙක සහ එහි සිටි ධීවරයන් 15 දෙනා මියන්මාර බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.පසුව එම ධීවරයන් වරද පිළිගැනීම හේතුවෙන් වසර 7 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් එම ධීවරයන්ට නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd