(ඩයනා උදයංගනී)

තමන් යුගදනවි ගිවිසුම වෙනුවෙන් පෙනී සිටින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

යුග දනවි ගිවිසුමෙන් රට පාවා දෙන බවට, රටේ සම්පත් විකුණන බවට හා එයින් දූෂණයක් වී ඇති බවට නැගෙන චෝදනා තමන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මේ ගිවිසුම සම්බන්ධයෙන් ගත් කැබිනට් තීරණවලින් රටේ විදුලි බිල අඩු වන බව කී ඇමතිවරයා විදුලි ඒකකයක් මිලදී ගැනීමට වැය වන මුදල සියයට 50 කින් පමණ අඩු වන බව ද කීවේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් යථාර්ථයක් කරලීම වෙනුවෙන් දායක වූ රාජ්‍ය හා පෞද්ගලික අංශ විශිෂ්ටයින්  ඇගයීමේ “විශිෂ්ටතා ඇගයීම් රාත්‍රිය”ට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මහුනවර, අර්ල්ස් රිජන්සි හෝටලයේදී මෙම උත්සවය පැවති අතර, ග්‍රාමීය මාර්ග, පාලම් ඉදිකිරීම්, පැළ මිලියන දෙකක් සිටුවීම යන අංශයන්හි දක්වා ඇති දායකත්වය ඇගයීම වෙනුවෙන් මෙම ”විශිෂ්ඨතා ඇගයීම් රාත්‍රිය” පවත්වනු ලැබිණි.

විදුලිබිල අඩුවන තීන්දුවකට ඇතැම් දේශපාලනඥයින් විරුද්ධ ඇයිදැඩි තමන් නොදන්නා බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පීඩිත පන්තිය ගැන කතා කරන අනුර දිසානායක මහතා ද මෙම ගිවිසුමට විරුද්ධවීම සිතාගත නොහැක්කක් බව කීවේය.