(බිඟුන් මේනක ගමගේ)
අගුණුකොලපෑලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඞ් රැඳවියන් පිරිසකට සිදුකරනු ලැබූ පහරදීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අපරාධ පරීක්ෂණවලට බාධා පමුණුවන ආකාරයෙන් කටයුතු කර ඇතැයි ද ඊට එරෙහිව පොලිස්පතිවරයාට හෙට (23) පැමිණිලි කරන්නේ යැයි ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් මේ ගැන කළ මූලික විමර්ශනයකදී පහරදීමට යොදාගත් පොලු මුගුරු කීපයක් එම විමර්ශකයන් විසින් කොළඹ කාර්යාලයට රැගෙන එනු ලැබීමෙන් පරීක්ෂණවලට මෙම බාධාව සිදුව ඇතැයි නීතිඥ සේනක පෙරේරා මහතා කීය.
මෙසේ අදාළ පොලු මුගුරු ආදිය රැගෙන ඒම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලට බාධාවක් යැයි කී හෙතෙම සිදුවීමක නඩු භාණ්ඩ අදාළ පරිසරයෙන් ඉවත් කිරීමට තරම් මානව හිමිකම් කොමිසමේ විමර්ශකයන්ට විශේෂඥ දැනුමක් නොවීම පුදුමයක් යැයි චෝදනා කළේය.
අදාළ පොලු මුගුරු ආදිය නැවතත් අගුණුකොලපෑලැස්ස බන්ධනාගාරයට බාරදීමට කොමිසමේ විමර්ශකයන් සූදානම් වුවත් බන්ධනාගාර අධිකාරිය ඒවා බාර ගෙන නැතැයි ද පෙරේරා මහතා සඳහන් කළේය.අගුණුකොලපෑලැස්ස සිදුවීම සම්බන්ධයෙන් රජය සිදුකරන පරීක්ෂණ ගැන කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි යැයි ද ප්‍රහාරයට වගකිව යුත්තන් තවදුරටත් එම බන්ධනාගාරයේම රාජකාරි කරන පසුබිමක වින්ධිතයන්ගෙන් සාක්ෂි ලබාගැනීම ප්‍රායෝගික නැතැයි ද නීතිඥ පෙරේරා මහතා පැවසීය.
එමනිසා පරීක්ෂණවල පවතින අඩුපාඩු ගැන සිය පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය මුණගැසීමට ද හෙට දිනයේ කටයුතු කරන්නේ යැයි ද නීතිඥ සේනක පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය දන්නා කිසිවෙකු,නීතිගරුක කිසිවෙකු නඩු භාණ්ඩ වලට අතවත් තියන්නේ නැහැ.එසේ කිරීම සත්‍ය වශයෙන්ම පර්යේෂණ කටයුතු අවුල් කිරීමක්.මෙවැනි දෙයක් කළා නම් වහාම එම නිලධාරීන් එම තනතුරු වලින්ද ඉවත් කොට නීති මගින් දඬුවම් පැමිණවිය යුතුයි.මෙසේ කොට ඇත්තේ නීතිය නොදැනීම නිසා කියා පිළිගන්න අමාරුයි.තනතුරේ බලයෙන් හිස උදුම්මාගෙන සිටීම වෙන්න පුළුවන්.නීතිය ගමේ අසරණ පියදාසටත්, බලවතාටත් ක්‍රියාත්මක විය යුත්තේ එකම ආකාරයකටයි.නඩු භාණ්ඩ ඉවත් කරන්න කිසිවෙකුට බැහැ.එය ගරු අධිකරණයටම පමණක් හිමි දෙයක්.මානව හිමිකම් නිලධාරීන් ගිය උඩක තරම ?