(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවත් සමග ජන බලවේගයත් මන්ත්‍රීවරුන්  තම පිල්වලට  එකතු කරගැනීමේ සටන වේගවත්  කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම සටන වේගවත් කර ඇත්තේ මැතිවරණ කිහිපයක් ළඟ ළඟ එන නිසා යැයි  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි වශයෙන්  නම්මවා ගැනීමෙන් ජනමතයට ලොකු ජීවයක් ඇති කරගත හැකි බව  එම පක්ෂ නායකයන්  බහුතරයකගේ අදහසවී ඇත. මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ සටන වේගවත් කර ඇත්තේ ඒ අනුවය.

විපක්ෂය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්  දහයක් ගත්තොත් අපි විපක්ෂයෙන්  පහළොවක් ගන්නවා යැයි රජයේ අමාත්‍යවරයෙක් අප සමග  කීවේය.

ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ නිවෙස් වලත් සමගි ජන බලවේගයේ නායකයන්ගේ නිවෙස් වලත් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ සාකච්ඡා පසුගිය දින කිහිපයේදී වරින් වර පවත්වා ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අප විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  විපක්ෂයට එක් කර ගැනීම සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ සාකච්ඡා දැනටමත් අරඹා ඇති බවයි.