
සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත වශයෙන් නොව මාකඳුරේ මධූෂ් වශයෙන් රටම දැන සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු සහ මිනීමරු සංවිධානාත්මක අපරාධකරු 20 වැනිදාට එළිවෙන පාන්දර වෙඩි කා මියගිය බවට වාර්තා පළවෙද්දී තිගැස්සුණේ පාතාලයන්ම පමණක් දැයි අපි නොදනිමු. එහෙත් මධූෂ්ගේ ඝාතනය රටේම ප්‍රධාන සිරස්තලයක් බවට ක්ෂණයකින් පත්වූයේ ඔහුගේ පැටිකිරියේ තරම හේතුවෙනි. හිරේ විලංගුවේ වැටීමට පෙර රටම හොල්ලාගෙන සිටි අපරාධකරුවකු වශයෙන් ජීවත් වූ මධූෂ් අවසානයේ වෙඩි ප්‍රහාරයකින්ම මියයාම ගැන එක් අතකින් පුදුම විය යුතු නැත. ඔහු ගෙවූ ජීවිතයට අනුව එහි අවසානය ඊට වඩා වෙනස් වන්නේ නම් ඒ ස්ථානය පමණි.
මාකඳුරේ මධූෂ් වැනි පාතාලයන් බිහිවීමට රටේ පවතින සමාජ ක්‍රමය හේතු වන බවට සමහරු චෝදනා කරති. ඔහු දකුණේ මාතර දිස්ත්‍රික්කයේ හක්මන ආසනයේ ගම් පියසක ගැටවර වියේ දී කරත්තයකින් දර විකුණා ජීවිතය ගැටගසාගත් දිළිඳු තරුණයකුව සිටි බවත් පසුව දරවලට අමතරව කරවල විකුණා ජීවත් වෙමින් සිටිය දී තමන් පදිංචිව සිටි වත්තෙන් බලහත්කාරයෙන් එළවා දැමීම හරහා පාතාලයට විසි වූ බවත් සමහර පාර්ශ්ව කියති.
එහෙත් පසු කාලයක ඔහුගේ ක්‍රියා කලාපය විමසා බලද්දී අපට තේරුම් යන්නේ මධූෂ් යනු මුල සිටම අපරාධකාරී මනසකින් හැදුණු වැඩුණු පුද්ගලයකු බවත් ගමෙන් එළවූ සිද්ධිය තම අපරාධකාරී ජීවිතයට ඇරඹුමක් ලබා ගැනීම සඳහා ඔහු ප්‍රයෝජනයට ගත් බවත්ය. පසු කාලයක දී ඔහුගෙන් විවිධ වරප්‍රසාද ලබාගත් පුද්ගල පිරිස් එම ගම හා අවට සිටි බව ද සඳහන් වෙයි. එහෙත් ඒ සියලු වත්පොහොසත්කම් මේ මධූෂ් විසින් උරුම කරගන්නා ලද්දේ මෙරට විශාලම කුඩු ජාලය මෙහෙයවීම ඇතුළු විවිධ සංවිධානාත්මක අපරාධ හරහා බවත් කුඩුත්, චණ්ඩිකමත්, මුදල් බලයත් අතැතිව සිටි කාලයේ ඔහුගේ අණට උඩින් කාක්කකුට හෝ පියෑඹීමට ඉඩක් නොතැබූ බවත් පැවසෙයි. අඩුම තරමින් ඔහුගේ ‘අනුමැතියකින්’ තොරව ප්‍රයිවෙට් බස් එකක් පාරට දැමීමට පවා ඉඩ නොතිබූ බවත් කියති. එය ඔහුගේ චරිත ස්වභාවය පෙන්නුම් කරන එක් අවස්ථාවක් පමණි.
මධූෂ්ලා වැනි අපරාධකරුවන් රටට බිහිවන්නේ ඔවුන්ගේ උවමනාවට පමණක් නොවන බව මෙහිදී පෙන්වා දිය යුතුය. මෙවැනි හාදයන් චණ්ඩින් බවට පත්වූ විට පළාතේ දේශපාලනඥයන්ගේ සුරතලුන් බවට පත්වීමට ගතවන්නේ සුළු කාලයක් පමණි. බලයේ සිටින පක්ෂයේ දේශපාලනඥයන්ගේ සියලු ජඩ වැඩවලට උර දෙන මෙවැනි අපරාධකාරයන් මෙල්ල කිරීමට ඉන්පසුව පළාතේ පොලීසියට ද හැකි වන්නේ නැත. කුඩු ජාවාරම්, කොන්ත්‍රාත් මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මහා පරිමාණ කප්පම් ගැනීම මේ සියලු අපරාධ ඉන්පසුව දම්වැලක් සේ එකට ඇමිනෙමින් මධූෂ්ලාගේ සාක්කු සල්ලිවලින් පිරවීම සිදුවෙයි. ගෝලබාලයෝ ද හතර වටේම බිහි වෙති. ඔවුන්ගෙන් ද පළාතට හිරිහැර පැමිණියත් පොලීසියත් නිහඬ වෙයි. මේ ක්‍රමයට තිත තබන තාක් මධූෂ්ලා වැනි අපරාධකාරයන් බිහිවීම නවතින්නේ නැත.
මේ වසරේ මාර්තු මාසය මුල දී කොරෝනා ව්‍යාප්තිය මගින් රටේ මාධ්‍යවල අවධානය ‘හයිජැක්’ නොකළා නම් මාකඳුරේ මධූෂ් ගැන තවත් නොයෙක් කතා මැවෙන්නට ඉඩ තිබිණි. ඔහු ඩුබායි රටේ රජකු මෙන් ජීවත් වූ හැටි, ඔහු හමුවීමට එරටට ගිය විවිධ තරාතිරමේ කට්ටිය පිළිබඳ බොහෝ තොරතුරු ඒ කාලයේ මාධ්‍ය ඔස්සේ පළවිය. එහෙත් අවසානයේ ඩුබායි රටින් පිටුවහල් කරනු ලැබ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත් නොවන්නට මාලිගාවත්ත, ඇපල් වත්ත, ලක්සෙත මහල් නිවාසයේ දී මධූෂ් වෙඩි කා මියැදෙන්නේ නැත. සිරගතව සිටිය දී පවා මධූෂ්ගේ නමට බිය වූ පිරිසක් ද මෙරට සිටි බවත් රට වටෙන්ම කුඩු තොග පිටින් අසුවීමේ දී ඒ පිරිස තව තවත් බියට පත්වූ බවත් සමහරු කියති. මධූෂ්ගේ මරණය ඔහුගේ ගම් ප්‍රදේශය පමණක් නොව පාතාලයේ විවිධ අපරාධවලට සම්බන්ධ වූ එවැනි පිරිස් අතර ද ප්‍රබල කම්පනයක් ඇති කර තිබෙන්නේ ඒ හේතුවෙන් විය හැකිය. සිදුවිය යුත්තේ මධූෂ්ලා ඉදිරියේ දී හෝ බිහිවීම වළක්වා ගැනීමය.
මධූෂ්ගේ සැබෑ ජීවිතය අළලා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට වුවද කෙනකු තුළ පෙළඹවීමක් ඇති වන තරමට ඔහුගේ අපරාධ ජීවිතය මෙරට තුළ හොල්මන් කර තිබිණි. එවැනි චිත්‍රපටයක් නිපදවන්නේ නම් ඔහුගේ චරිතය වීරයකු ලෙස හුවා දැක්වීමෙන් වැළකිය යුතු බවට කතා දෙකක් නැත. බොහොමයක් අපරාධකාරයන් පසු කාලයක දී කියන්නේ තමන් මේ අපරාධ ලෝකයට තල්ලු කරනු ලැබුවේ සමාජ අසාධාරණය විසින් බවය. එය පට්ටපල් බොරුවකි. සමාජ අසාධාරණයට අනුව මිනිසුන් අපරාධකරුවන් වන්නේ නම් මෙරට මේ වනවිට ලක්ෂ ගණන් අපරාධකාරයන් බිහි වී සිටිය යුතුය. අපරාධකාරී මනසක් ඇති පුද්ගලයකුට එම මනස අවුළුවා ගැනීමට අවශ්‍ය වන්නේ එක් පුළිඟුවක් පමණි. ඒ පුළිඟුව ඇතැම් විට දේශපාලනඥයකු වීමට නම් හොඳටම ඉඩ තිබෙන බව ද පැවසිය යුතුය. මධූෂ්ලා බිහිවීම වළක්වා ගැනීමට නම් අපරාධකරුවන්ට රැකවරණය සලස්වන දේශපාලන රාමුව කඩාබිඳ දැමීම අවශ්‍යම සාධකයයි.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියලුදේට මුල තුප්පහි දේශපාලන ක්‍රමය හා එයට අනුගත වූ දේශපාලුවන්. අයුතු බලය, සමාජ අසාධාරණය..
මේ ලස්සනට විරුද්ධ පාතාලේ කුඩු බිස්නස් කාරයින්ව මරාගෙන ඇවිල්ලා පාර හදන්නේ මොකටද කියලා ඔලුවේ මොලයක් තියන කෙනෙකුට තේරෙනවා. අර හිරේ ඉන්න දුමින්ද සර්ටයි, මීගමුවේ ලන්සාටයි, අනාගතේ ආසියාවේ කෙන්ද්‍රස්ථානේ කුඩු ජාවාරම තමන්ගේ අතට ගන්න පාර හදලා දෙනවා...රෙස්පෙක්ට් සර්...
ලස්සන කතාන්දර ලියලා නම් මේවා නවත්තන්න බැහැ. කොන්ද කෙළින් තියාගෙන ගවේශනාත්මක ජනමාධ්‍යයක් තුළින් නම් හොඳ සමාජ මෙහෙවරක් කළ හැකියි.
ලංකාවේ තිබෙන විහිලු සහගත නඩු ඇසීම හින්දා තමයි මෙයාලා තවතවත් බෝවෙන්නේ... කොච්චර මිනීමැරුවත් මස දෙකතුනක් යනකොට ඇපදීලා එළියේ, ඊටපස්සේ තවත් ඒවගේ අපරාධ කරනවා.
හොර දේශපාලනය නැති කරන්න. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න හොරු හිරේ දාන්න. ප්‍රශ්නේ ඉවරයි.
අපේ රටේ, කාලකණ්ණි ජඩ දේශපාලකයින් නැති කලේ නැත්නම්, මෙවැනි පාතාලයින් නැවත බිහිවෙන එක නවත්වන්න අමාරුයි.
ලංකාවේ නඩු අහන්න අවුරුදු 20-30ක් යනවා. අපරාධකාරයෝ මාස 3කදී ඇප පිට එළියට එනවා. ඉන්පසු සාක්ෂි කාරයෝ බය කරනවා. තව තව අපරාධ කරනවා. මේකට විසඳුම යුරෝපයේ කරන ක්‍රමයට නඩුකාරයෝ වැඩිපුර බඳවාගෙන... ඇප නොදී අපරාධ නඩු මාස කිහිපයකදී විනිශ්චය කරලා නිමා කරන එක.
මේ ඝාතනය රටින් පැනලා ඉන්න අපරාධකාරයාට නම් ලොතරැයියක් ඇදුණා වගේ. ආයෙ ඉතින් මළාටත් ජාත්‍යන්තර පොලිසිය හරහා අපරාධකාරයින් ගෙන්වීම බොරු.
පට්ටියේ ගොන්නුන්ට හා ඒ අදාළ පක්කලියන්ට එක නීතියක් මෙන්ම අනෙකුත් මිනිසුන්ට තව නීතියක් තිබෙනතාක් මෙවන් සමාජ විරෝධී මිනිසුන් බිහිවීම නැවැත්වීම විහිළුවකි.
මදූෂ් එක්ක ඒ රටේ පාටි දාපු අය මීඩියා වලට ගෙන්නලා ඒ අය හොඳ අය කළා.. කොන්ද කෙළින් තියාගෙන ගවේශනාත්මක ජනමාධ්‍යයක් තුළින් නම් හොඳ සමාජ මෙහෙවරක් කළ හැකියි.
බිහිවෙනවා නොව දේශපාලකයෝ බිහිකරලා තියෙන්නේ එයාලගේ වැඩවලට.. ඒකයි ඇත්ත.
ලංකාවේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ නිපැයූ බාලම චිත්‍රපටිය මේක...
අමුතුවෙන් හේතු හොයන්න දෙයක් නැහැ... 225 ඉන්නකම් මදූෂ් වගේ හරක් ඇතිවෙන එක නැතිවන එක නාටකයේ කොටසක්...
හේතු හොයන්න දෙයක් නැහැ.. හේතු දන්නවා. පිළියම් යොදන්න තමයි තවම ප්‍රමාද...
බොරුවට හැමදේටම දේශපාලකයින්ටම බැනලා වැඩක් නැහැ. දෙමව්පියන් හරියට ගුණ යහපත්කම් කියාදී දරුවෝ හදනවා නම් ඔහොම වෙන්නේ නැහැ. පාසල් ගුරුවරුන්, පූජකයින් හා වැඩිහිටි පරපුරෙන් ගන්න තරම් ආදර්ශයක් අපේ ළමා පරපුරට තිබෙනවද? ලංකාවේ බහුතර වැඩිහිටියන් වයසට ගියත්, මොලය පරිණත වෙන බවක් මට නම් පෙනෙන්න නැහැ. වයසින් මුහුකුරා යද්දී ඇතිකර ගත යුතු ස්වයං විනය, හික්මීම, ඉවසීම යන ගුණාංග අපේ වැඩිහිටි පරපුරට තියනවද? සෑම ක්ෂේත්‍රයක්ම දේශපාලනීකරණය වීම හේතුකොටගෙන විපරිත වූ සමාජයක පවතින ආරවුල් වියවුල් හා අධර්මිෂ්ඨ බව දිනපතා දකින දරුවෙකුගේ මනස නිරවුල්ව වැඩෙයිද? තරුණ වයසේදී ආදරය කිරීමත් මහා අපරාධයක් ලෙස සලකන ගෝත්‍රික සමාජයක හැදෙන වැඩෙන දරුවන් මැරකම තෝරාගැනීම එක අතකට වරදක්ද? අවාසනාවට සමාජය යහමගට ගන්නට පෙරගමන් කරුවන් අතලොස්සක් ඇතත්, ඔවුන්වද පාගා විනාශ කිරීම දේශපාලකයින්ට පමණක් ආවඩන ලාංකික අමනෝඥ සමාජයේ ස්වභාවයයි.
ලෝකෙට පරකාසේ කරන්න ගිය අම්මා කෙනෙක් ගෙදරට මරගාතේ වුන එක තමයි මූලික හේතුව. අම්මලා විප්ලව කරන්න යන්නෙ නැතුව දරුවන්ට මුල්තැන දෙනවානම් මධූෂ්ලා අපරධකාරයො නොවෙන්න තිබුනා.
සමාජ සාධාරණය දූෂණයෙන් තොර පාලනයක් අවශ්‍ය නම් පාරම්පරික දේශපාලනයෙන් ඉවත්ව සිරිමාවෝ, ඩඩ්ලි වැනි නායකයෙක් සොයාගත යුතුය.
නීතිය ශක්තිමත් කරන්න, නීතියට සහ සාධාරණත්වයට මිනිසුන්ට බිය වීමට ඉඩ දෙන්න - මෙය කිසි විටෙකත් සිදු නොවනු ඇත, මෙය බෞද්ධ රටකි, නමුත් වෙනත් කෙනෙකුගේ ජීවිතය රුපියල් 2-3 දහස් ගණනකට අවසන් කිරීම .... එහි සිටින ඕනෑම ජනගහනයක අතිශයින්ම හොඳ සහ අතිශය නරක, අප එය පිළිගත යුතු අතර මේ රටේ නිසි නීතියක් තිබිය යුතුය