(ටෝනි කරුණානායක)

මිනුවන්ගොඩ නගරයේදී ඉකුත් 13 වැනිදා රාත්‍රියේ සිදුවූ ප්‍රචන්ඩකාරී සිද්ධීන්වලට සම්බන්ධ යැයි සැකකරන පුද්ගලයන් තිදෙනෙකුට විදේශ ගමන් වළක්වමින් තහනම් නියෝගයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී.ඒ.සමරදිවාකර මහතා ආගමන විගමන පාලන ජෙනරාල් වෙත නිකුත් කළේය.

පිවිතුරු හෙල උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද,මිනුවන්ගොඩ පොල්වත්තේ පදිංචි කේ.පී අතුල දයාරත්න,හීනටියන ගුරුගම පදිංචි කේ.නුවන් උපේන්ද්‍ර යන තිදෙනාට මෙසේ විදේශ ගත වීම තහනම් කෙරිණි.

බුද්ධි අංශ නිලධාරීන්, විශ්වාසදායක පුද්ගල තොරතුරු,සීසීටිවී දර්ශන උපයෝගි කරගනිමින් පොලිසියේ විශේෂ විමර්ශන කණ්ඩායම් කිහිපයක් මිනුවන්ගොඩ ප්‍රචන්ඩකාරී සිද්ධීන්වලට සම්බන්ධ 15 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

හීනටියාව,ධම්මාලෝකගම,කලහුගොඩ,මහගම,ගුරුගම,පොල්වත්ත යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම කලහකාරීය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය නියමයෙන් සැකකරුවන් 17 දෙනෙකු බන්ධනාගාර ගතව සිටින බවත් එම සැකකරුවන් 17 දෙනා 29 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ පසුවන බවටත් අධිකරණයේදී සඳහන්විය.