(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (18) පෙරවරුවේ උත්සවාකාරයෙන් විවෘත කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.

පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මැතිසබයේදී පෙරවරු 10.00 ට ඉදිරිපත් කෙරෙනු ඇත .

ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙලෙස ඉදිරිපත් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහුට ලැබී ඇති බලතල අනුවය.

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවය ආචාර වෙඩිමුර රථ පෙළපාලි කිසිවක් ඇතුළත් නොකර ඉතා චාම් අයුරින් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ප්‍රධානින්ට දැනටමත් උපදෙස්දී ඇත.

මේ අනුව මෙවර උත්සවයට ආචාර වෙඩිමුර සහ රථ පෙළපාළි කිසිවක් ඇතුළත් නොකෙරෙන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති

උත්සවයට පැමිණෙන ජනාධිපතිවරයා පිළිගැනීමට පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ දායකත්වයෙන් සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත ආචාර දැක්වීමක් පමණක් සිදු කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.