(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ නිලධාරීන්ගේ පරිභෝජනය සඳහා ගෙන එනු ලබන  ආහාර ද්‍රව්‍යවලින් සියයට  30ක් පමණ  නාස්තිය සහ දූෂණය නිසා  අහිමිවන බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ හේතුවෙන් වසරකදී රජයට සිදුවන පාඩුව  රුපියල් කෝටි දෙක ඉක්මවන බවද  එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන එන ආහාර ද්‍රව්‍ය  හොර රහසේ පිට  කිරීමේ සිද්ධීන් වැඩිවී ඇති හෙයින් එමගින්ද  විශාල වශයෙන් පාඩු සිදුවන බව   එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පාර්ලිමේන්තු සේවකයන්  ඇතුළට එද්දී පරීක්ෂාවට ලක් වුවත් පිටව යද්දී එසේ පරීක්ෂාවට ලක් නොවන හෙයින්  මෙම ජාවාරම්වලට එය  ලොකු පිටුබලයක්වී ඇතැයි  දැනගන්නට ඇත.

සමහර සේවකයන්  සිය සාක්කුවල පවා ආහාර ද්‍රව්‍ය ඉතා කුඩා ප්‍රමාණ  වශයෙන්  දමාගෙන පිටතට රැගෙන යන බවද කියති.

සේවකයන් නිවෙස්වලට රැගෙන යමින් තිබූ බස් රථයක් කලකට පෙර  පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට  ඇති පොකුණට පෙරළී ගියේය. මේ අවස්ථාවේදී පොකුණට වැටී  පාවෙමින් තිබූ ආහාර ද්‍රව්‍ය සහ  ලිපි ද්‍රව්‍ය  රැසක් ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබූ අතර  එම ආහාර ද්‍රව්‍ය සහ ලිපි ද්‍රව්‍ය  එසේ හොර රහසේ රැගෙන යමින් තිබූ ඒවා බව ඒ අවස්ථාවේදී කළ සොයා බැලීම්වලදී   හෙළිවී යැයි එම නිලධාරියා ප්‍රකාශ කළේ‍ය.

" පාර්ලිමේන්තුවේ ආහාර ද්‍රව්‍ය සහ ලිපිද්‍රව්‍ය පිටවීම කාලයක් තිස්සේ සිදුවන දෙයක් .සමහරුන් හාල්මැස්සො ටික, මාලු කෑල්ල,  බනිස් ගෙඩිය පවා සාක්කුවල බෑග් වල දාගෙන  ගෙවල්වලට ගෙනි යනවා." යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ආහාර නාස්තිය වැඩි වශයෙන් සිදුවන්නේ පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී බව පාර්ලිමේන්තුවේ විගණන අංශය  සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ  කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ පාර්ලිමේන්තුවෙ ආහාර නාස්තිය වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

මන්ත්‍රීවරුන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් පැමිණෙන සංඛ්‍යාව ගණනය කර ඒ අනුව ආහාර පිළියෙල කරන ලෙස  අදාළ නිලධාරීන්ට උපදෙස්දී ඇතැයිද  ඇය සඳහන් කළාය.