(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට විවිධ තාඩන පීඩන හිරිහැර සහ බරපතළ අසාධාරණකම් සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ අවසන් වාර්තාවේ සඳහන්වේ.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල උපදේශක කාරක සභාවට පසුගිය 19 වැනිදා ඉදිරිපත් කෙරිණ.

දැනට ස්ථාන මාරුවීමක් ලබා සිටින වින්දිත නිලධාරිනිය ඇයගේ නිත්‍ය තනතුර වන ජ්‍යෙෂ්ඨ සහාය කවුළු සම්බන්ධීකරණ සහකාර තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවට වහා ස්ථාන මාරු කරන ලෙස එම කමිටු වාර්තාව නිර්දේශ කර ඇත.

දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් සහ සියලු නිලධාරින් සමඟ සාකච්ඡා කර නිලධාරිනියට යහපත් රාජකාරී වැඩ පරිසරයක් නිර්මාණය කරදීම තහවුරු කළ යුතු බවත් ඇයට අදාළ රාජකාරී කටයුතු බාධාවකින් තොරව කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් අනුමත කර එම රාජකාරිය ආවරණය කිරීම සඳහා සුදුසු පරිපාලන ක්‍රමවේද යෙදිය යුතු බවත් නිර්දේශ කර ඇත.

අංශයේ සියලුම නිලධාරීන්ගේ විනය පවත්වාගෙන යෑම සදහා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ සුපරීක්ෂණය යටතේ සමීපව අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද කමිටු වාර්තාවේ දැක්වේ.

තවද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මනා පරිචයක් ඇති නිලධාරියකුගේද සහාය ලබා ගනිමින් තොරතුරු පද්ධතිය හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ රාජකාරී සම්බන්ධයෙන් විධිමත් විශ්ලේෂණයක් කර රාජකාරී ලැයිස්තු සමාලෝචනයට ලක් කර එම අංශයේ එක් එක් නිලධාරියාගේ රාජකාරි කටයුතු සමීප ලෙස අධීක්ෂණයට ලක් කළ යුතු බවද කමිටු වාර්තාව නිර්දේශ කර ඇත.

කිසිදු පිළිගත හැකි හේතුවකින් තොරව නිලධාරිනියගේ වැටුප් වර්ධක ගෙවීම පැහැර හැර ඇති බව සහ වැටුප් වර්ධක සම්බන්ධයෙන් තීරණ ගැනීම කල් දමා ඇති බව පෙනී යන බවත් නිලධාරිනියගේ 2024 සහ 2025 වර්ෂ වලට අදාළ වැටුප් වර්ධක ලබාදීමට අදාළ පරිපාලනමය තීන්දු කඩිනමින් ගැනීම සහ ඒ සම්බන්ධයෙන් සුදුසු පරිදි නිලධාරිනිය දැනුවත් කිරීම කළ යුතු බවත් කමිටු වාර්තාව කියා සිටී.

නිලධාරිනිය මාරුකර යවා ඇති අංශය ඇයගේ සුදුසුකම් වලට නොගැලපෙන එකක් බව පවසන වාර්තාව ඇයගේ ස්ථාන මාරුව තාවකාලික එකක් බවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රකාශයන්හි සඳහන් වුවද එම මාරුව පිළිගත් පදනමින් තොරව කරන ලද්දක් බවට බැලූ බැල්මට පෙනී යන්නේ යැයිද කමිටු වාර්තාව නිගමනය කරයි.

පාර්ලිමේන්තුවේ පද්ධති හා පාලන ක්‍රමවේදයන්හි දුර්වලතා සහ ප්‍රමාදයන් පවතින හෙයින් පරිපාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යෑම හා නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ගැටලු සහගත තත්වයක් නිර්මාණය වී ඇති බවද වාර්තාවේ දැක්වේ.

සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ලකුණු නොදීමට තීරණය කිරීමෙන් ඇයට ලබා ගැනීමට තිබූ වෘත්තීයමය අවස්ථා අහිමි වී ගොස් ඇති බව බැලූ බැල්මට පෙනී යන්නේ යැයිද එම කමිටුව නිගමනය කර ඇත.

දත්ත පදනම් පරිපාලන තනතුර (DataBase Administrator ) සහ පාර්ලිමේන්තු නිලධාරී (Parliament Officer ) යන තනතුරු සඳහා පෙනී සිටි නිලධාරිනියට බරපතළ අගතියක් සිදුවී ඇති බවත් නිලධාරිනිය එම තනතුරට නුසුදුසු බවට දෙපාර්තමේන්තු ප්‍රධානියා පූර්ව නිගමනයකින් කටයුතු කර එම අදහස් ඔහුගේ මතයක් ලෙස සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් කර අැති බවත් වාර්තාව සඳහන් කරයි.

පාර්ලිමේන්තු නිලධාරී තනතුර සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේදී නිවාඩු ලබා ගැනීම සහ පරිපාලනමය ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් නිලධාරිනියගෙන් ප්‍රශ්න කර ඇති බවත් එය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ විෂය පථයෙන් බැහැර කටයුත්තක් බවත් කමිටු වාර්තාව සඳහන් කරයි.

තවද පාර්ලිමේන්තු නිලධාරීන්ට අවශ්‍ය උපදේශනය ලබාදීම සහ දුක් ගැනවිලි කළමනාකරණය සඳහා ඵලදායි වැඩපිළිවෙලක් ස්ථාපනය කරන ලෙසටද කමිටු වාර්තාව නිර්දේශ කර ඇත.

පාර්ලිමේන්තුවේ පද්ධතිය හා පාලන ක්‍රමවේද ශක්තිමත් කර පවත්වාගෙන යන ලෙසටත් එක් එක් අංශයන් අතර පරිපාලනමය සබඳතා වර්ධනය කිරීම පරිපාලනමය කටයුතුවලට අදාළව එක් එක් අංශ වෙත පැවරෙන වගකීම් නිශ්චය කිරීම සඳහා සුදුසු අභ්‍යන්තර වැඩපිළිවෙළක් යෙදීම මෙන්ම පාර්ලිමේන්තුවේ පුරප්පාඩු තනතුරු සඳහා නිලධාරීන් බඳවා ගැනීමේදී සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසත් කමිටු වාර්තාව නිර්දේශ කරයි.

පාර්ලිමේන්තුව සඳහා කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, උසස්වීම් ලබාදීම, පුහුණු වැඩසටහන් සඳහා යොමු කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සේවක විනය පවත්වාගෙන යෑම ඇතුළු සියලුම මානව සම්පත් කළමනාකරණ සහ පරිපාලන කටයුතුවලදී පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය සහ ගෞරවය ආරක්ෂාව වන අයුරින් විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීම තහවුරු කළ යුතු බවත් එම වාර්තාවේ සඳහන්වේ.

කෙසේ වෙතත් නිලධාරිනිය හෝ එම අංශයේ වෙනත් කිසිදු නිලධාරිනියක දණ්ඩ නීති සංග්‍රහයේ 345 වැනි වගන්තියේ දක්වා ඇති වරද යටතට ගැනෙන ලිංගික හිංසාවලට ලක්ව නැතැයිද එම වාර්තාව සඳහන් කරයි.