තරිඳු ජයවර්ධන

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීමෙන් 17 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බවත්, ඉන් හය දෙනකු මිය ගිය බවත් ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් ‘ලකාදීපයට‘ පැවසීය.

මිය ගිය හය දෙනා අතර අවුරුදු 13ක පාසල් සිසුවකු සහ අවුරුදු 14 හා 15 වයස්වල සිසුවියන් දෙදෙනකු ද සිටින බව එම ප්‍රකාශකයා කීවේය. 

අද දහවල් 2.30ට පමණ මීතොට මුල්ල කුණු කන්දේ කොටසක් නාය යෑමෙන් නිවාස 100කට ආසන්න ප්‍රමාණයක් යට වන්නට ඇතැයි සැක කරේ. ඉන් නිවාස රැසක සිටි පිරිස් දිව ගොස් දිවි බේරා ගත් බව ප්‍රදේශවාසියෙක් කීවේය.

අද රාත්‍රී අඳුරේම යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය එක්ව සෝදිසි මෙහෙයුම් දියත් කළ අතර රාත්‍රී 9ට පමණ හමුදා මෙහෙයුම් තාවකාලිකව නතර කැරිණි. එහෙත් ප්‍රදේශවාසීහු කිහිප දෙනෙක් නිවෙස් සෝදිසි කරන අයුරු දක්නට ලැබිණි.

මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව ප්‍රදේශවාසීහු අවස්ථා කිහිපයකදීම විරෝධතා පැවැත්වුවද දේශපාලන කඹ ඇදිල්ල නිසා එය ඉවත් නොකළ බවත්, අද උදේ වන තුරුම කුණු ගෙනැවිත් දැමූ බවත් ප්‍රදේශවාසියෙක් කීවේය.

කුණු කන්ද කඩා වැටීමත් සමඟ කුපිත වූ පිරිසක් කුණු කන්ද මුදුනේ තිබූ බැකෝ යන්ත්‍ර දෙකකට ගිනි තැබීය.

රාත්‍රී 10 පමණ වන විටත් මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලය අසල ප්‍රදේශවාසීහු පිරිසක් රැස්ව සිටියහ.

අවට පොලිසි රැසක විශාල පිරිසක් ද පැමිණ සිටිති. එම ප්‍රදේශයේ සිටි තම ඥාතීන් ගැන විස්තර රාහුල විද්‍යාලයයේ පිහිටවා ඇති මධ්‍යස්ථානයට ලබා දෙන ලෙස යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා ඉල්ලයි.