තමන්ට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පවසයි.
තමා තවමත් ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා ලෙස සේවය කරන බවත්, අමාත්‍යවරයා තමා වෙත දැන්වූයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින්ගේ  ඉල්ලා අස්වීම් ලිපි ලබාදෙන ලෙස පමණක් බවත් ජගත් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ජගත් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ‘ගුවන් විදුලි සභාපතිට, අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඇමති අස්වෙන්න කියයි’ යන මැයෙන් ඉකුත් 11 වැනිදා දිනපතා ලංකාදීප එසැණ වෙබ් අඩවියෙහි පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.
සංස්ථාවේ උඩරදැල්ල විකාශනාගාරයට අයත් ඉඩමක් පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව බදු දී ඇති බවට හා ගුවන් විදුලි සංස්ථාවේ සංඛ්‍යාත වෙනත් පාර්ශවයකට පවරා ඇති බවට එම පුවතේ නගා ඇති චෝදනා අසත්‍ය බව ද ඔහු පවසයි.