2016-12-21-ent-90

වසර ගණනක්ම සනිධප සංගීත කණ්ඩායමේ න්‍යාමක ගායකයෙකු ලෙස කටයුතු කළ ඔහු මේ වනවිට ස්පීඩ් නම් එකෝස්ටික් සංගීත කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේය. ඔහු නිලංග සිල්වාය. වර්තමාන කණ්ඩායම් සංගීතය ගැන ඔහු දැක්වුයේ මෙවන් අදහසකි.

“අද සංගීත කණ්ඩායම්වල තියන එකිනෙකාගේ සහයෝගය ගැන කතා කරලා වැඩක් නැහැ. මගේ ‘ස්පීඩ්’ සංගීත කණ්ඩායම පටන් ගද්දීත් මම මූලිකත්වය දුන්නේ මනුෂ්‍යත්වයට. අපේ කෙනෙක් දියුණුවෙනව නම් සතුටු වෙන්න ඕන. ඒත් අද ගොඩක් සංගීත කණ්ඩායම්වල ඒ දේ නැහැ. කකුලෙන් අදින, නැති තැන විවේචනය කරන, කේළාම් කියන තත්ත්වයක් තමයි අද තියෙන්නේ. ගායකයෙක් ලෙස කටයුතු කරද්දී වෙන ප්‍රසංගවලටත් ආරාධනා ලැබෙනවනේ එහෙම වුණාම ගොඩක් අයට ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඒ අවස්ථාව සිංදු තිබුණා කියලා ලැබෙන්නෙත් නැහැ. නීතිඥයෙක්, ජනාධිපති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක් වෙන්න හරි හැමදේටම දක්ෂකමට වඩා වාසනාව තියෙන්න ඕන. ඒ වාසනා ගුණය හැමෝටම නැහැ. ඒ වාසනාවන්තයට අවස්ථාව ලැබෙන්න ඕන. ඕනෑම කෙනෙක්ට එන වාසනාවට පයින් ගහන්න, කකුලෙන් අදින්න හොඳ නැහැ. මම ‘සනිධප’ සංගීත කණ්ඩායමෙන් ඉවත්වෙන්න කවදාවත් හිතපු නැති කෙනෙක්. මම ඒ කණ්ඩායමට ගොඩක් කැප කිරීම් කළා. ඒක අපේ සංගීත කණ්ඩායම නෙමෙයි, ඒක මගේ සංගීත කණ්ඩායම. ඉන්නම බැරි තැන තමයි අයින් වුණේ. මේක දැක්කම රිදෙන අයට රිදෙන්න පුළුවන්. එහෙම රිදව ගන්න එපා. මේ ක්ෂේත්‍රය හොඳ තැනක තියනවා දකින්නයි අපිට ඕන වෙන්නේ.”

 

නිදුක් මදුෂික