
(ඩයනා උදයංගනී)
මන්ත්‍රීවරු විශාල පිරිසක් විපක්‍ෂයට ගෙනගොස් ආණ්ඩුව අර්බුදයකට තල්ලු කරනවාට වඩා මෙම අවස්ථාවේ කළ යුත්තේ රට මුහුණ පා ඇති අර්බුදයෙන් ගලවා ගැනීමට සහයවීම බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
එසේ වුවත් ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක් ආරම්භ කළ වැඩපිළිවෙල සමඟ ශ්‍රී.ල.නි.පය ඉදිරියටත් කටයුතු කරන බව කී මන්ත්‍රීවරයා විමල් වීරවංශ, උදය ගම්මන්පිල මහත්වරුන් අමාත්‍යධූරවලින් ඉවත්කිරීම ගැන පක්‍ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා හමුවේ කණගාටුව පළ කළ බව සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (8) පැවති හමුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ කණගාටුව පළ කළ බවත්, එහිදී ජනාධිපතිවරයා එම ඉවත්කිරීමට හේතු වූ කරුණු ඉදිරිපත් කළ බවත් ශාන්ත බණ්ඩාර මහතා කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ එම පක්‍ෂ මූලස්ථානයේ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙම අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉවත් නොවෙන්නේ ඇයිදැයි සමහරු ප්‍රශ්න කරන බවත් එය ක්‍ෂණිකව කළ හැකි නමුත් වසර ගණනාවක් රටේ ආණ්ඩු කළ දේශපාලන පක්‍ෂයක් ලෙස තීන්දු ගත යුත්තේ පක්‍ෂයේ අනාගතය, ආණ්ඩු නිර්මාණය කිරීම, බලය ලබාගැනීම ගැන නොව ජනතාව පත්ව ඇති පීඩාවෙන් මුදවාගැනීම ගැන සිතා බවත් මන්ත්‍රීවරයා කීවේය.
එබැවින් ආණ්ඩුව සමඟ සාකච්ඡා කරමින් ජනතා ගැටලුවලට විසඳුම් සෙවීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බුද්ධිමත් තීන්දුවක් ගත් බවත්, ආර්ථික අර්බුද මැද දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමෙන් රට තවත් අරාජික කර ජනතාව පීඩාවට පත් කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද රට අර්බුදය කරා රැගෙන ගියේ...? ඔවුන් ඒක විසඳන්න ඕනෑ...
අනේ එහෙම කරන්න එපා... වරප්‍රසාද සියල්ල නැතිවෙනවා. කොහොම හරි ආණ්ඩුව ශක්තිමත් කරගෙන, පිනට පැට්රල් ටික හරි ගහගෙන ප්‍රාඩෝ එකේ යන්න. අපි ණයවෙලා හරි අධිවේගී මාර්ග හැදුවේ ඔබලා වැනි උත්තමයින්ට එන්න.
මෙතුමා කියන දේ හරි... දැන්මම කලබල වෙන්න හොඳ නැහැ. අන්තිම මොහොත වෙනකන් ආණ්ඩුවේ ඉඳලා වරප්‍රසාද භුක්ති විඳලා අර 2015දී කළා වගේ කෝපි බීලා ආප්පයක් එහෙම කාලා ෂේප් එකේ අවසාන මොහොතේ අනිත් පැත්තට පැනලා අලුත් ආණ්ඩුවේ එල්ලිලා ජනතාව සූරාකන්න.
ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හොඳ පාඩමක් උගන්නවා ඊළඟ ඡන්දෙදි. තනිවම ඉල්ලුවොත් මන්ත්‍රී එකක් හෝ දෙකයි ළඟ පාර.
ඇයි උඹලගේ ගිලෙන නැවට ගොඩවදින්නද කියන්නේ?
අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී