පාකිස්තානයට අලුත් බලුකිස්තාන ප්‍රාන්තය අද (7) අලුයම ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.9 ක් ලෙසය.

භූමි කම්පාවෙන් මියගිය ගණන 20 ක් බවත් තුවාල ලැබූ ගණන 150 කට වැඩි බවත් මාධ්‍ය වාර්තා කළේය. නිවාස සහ ගොඩනැගිලි රැසක් මුළුමනින්ම බිමට සමතලා වී ගොස් ඇති අතර, ඒවායේ සිරවුණු පිරිස් මුදා ගැනීම මේ වනවිට ආරම්භ වී ඇත.

බලුකිස්තාන මාධ්‍ය වාර්තා කළේ මියගිය සහ තුවාල ලැබූවන්ගේ ගණන තවත් ඉහළ යනු ඇති බවය. මියගිය සහ තුවාල ලැබූ වැඩි දෙනා කුඩා දරුවන් සහ කාන්තාවන් බව පැවැසෙයි.

භූමි කම්පානේ අප්‍රිකේන්ද්‍රය කිලෝ මීටර් 9 ක් පොළොව ගැඹුරේ හටගත් බැවින්, භූමි කම්පාවෙන් සිදුවුණු හානිය දරුණු වූ බව ඇමෙරිකන් භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

භූමි කම්පාවෙන් දරුණු හානි සිදුවී ඇත්තේ හර්නායි නගරයටය. මෙය පිහිටා ඇත්තේ ක්වෙටා නුවරට නැගෙනහිරිනි. ක්වෙටා යනු බලුකිස්තාන ප්‍රාන්ත අගනුවරය. බලුකිස්තාන ආපදා කළමනාකරණ අමාත්‍ය මීර් සියඋල්ලා පවසා ඇත්තේ උන් හිටිතැන් අහිමි වුණු බලුකිස්තාන වැසියන් ගණන ලක්ෂයකට වැඩි බවය.

(රොයිටර්)