(ඩයනා උදයංගනී)

භාණ්ඩ මිල ඉහළයාමේ ගැටලුවට විසඳුමක් සෙවීම පහසු නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කොවිඩ් වසංගත තත්වය සමඟ ඇතැම් භාණ්ඩවල මිල ගණන් ජාත්‍යන්තර වශයෙනුත් ඉහළ ගොස් ඇතැයි කී ඇමතිවරයා කොතරම් බදු අඩු කළත් මිල ඉහළයාම පාලනය කිරීමට නොහැකි වී ඇත්තේ ඒ නිසා බව සඳහන් කළේය.

ගම්වල ඇවිදින, වෙළඳසැලට ගොස් භාණ්ඩ මිලදී ගන්නා අය ලෙස ජනතාව ජීවත්වන්නේ අමාරුවෙන් බව තමන්ටද තේරෙන්නේ යැයි කී අමරවීර මහතා කලින් ගත්ත බඩුමල්ල මිලදී ගැනීමට වර්තමානයේදී එදා මෙන් දෙගුණයක් පමණ ගෙවන්නට වී ඇතැයි ද කීවේය.

මේ ගැන ජනාධිපතිතුමාගේ හා කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කර ඇතත් ඊට කළ හැකි දෙයක් නැති බව සඳහන් වන්නේ යැයි කී ඇමතිවරයා කළ හැකි හොඳම දෙය වන්නේ දේශීයව කළ හැකි නිෂ්පාදන ඉහළ දැමීම බව ද පැවසීය.

ආහාර ද්‍රව්‍ය මිල ඉහළයාමට පොහොර ගැටලුව, කාලගුණ තත්වය ආදියත් හේතු වූ බව කී ඇමතිවරයා පොහොර ගෙන්වීමේදී යම් වංචාවක් වී ඇත්නම් ඒ ගැන සෙවීමට කමිටුවක් පත්කර වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද කීවේය.