(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති මන්දිරයේ අස්ථානගතවී ඇති භාණ්ඩ  මොනවා දැයි එම ලයිස්තුව යොදාගෙන තහවුරු කරගැනීමේ    විමර්ශන අද  (16)  සිට ආරම්භ කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ජනාධිපති මන්දිරයේ අස්ථානගතවී ඇති භාණ්ඩ මොනවා දැයි තහවුරු කරගැනීම සඳහා එහි භාණ්ඩ ලැයිස්තුව ලබාදෙන්නැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ජනාධිපති ලේකම්වරයාගෙන් පසුගිය සතියේදී  ඉල්ලීමක් කළේය. එම ලයිස්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාර දී ඇත්තේ ඒ අනුවය.

මේ අතර ජනාධිපති මන්දිරයේ හානිවී ඇති භාණ්ඩ ලේඛනගත කිරීමේ කටයුතුද දිගටම කරගෙන යන බව පැවසූ එම නිලධාරියා පරීක්ෂා කටයුතු සඳහා ජනාධිපති මන්දිරයේ  තවත් කාමරයක් ජනපති ලේකම් කාර්යාල නිලධාරීන් විසින් ඊයේ  විවෘත කර දෙනු ලැබූ බවද ප්‍රකාශ කළේය.

එම විමර්ශන කටයුතු  ඉදිරි සතියේද කිරීමට නියමිතව ඇතැයි  හෙතෙම පැවසුවේය.

මේ අතර  ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය පුරාවිද්‍යා ස්මාරක ලෙස ගැසට් කිරීමේ කටයුතුද  දැනටමත් ආරම්භ කර ඇතැයි   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.