(ඩයනා උදයංගනී)

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් අද (10) ත් බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සබරගමුව සහ මධ්‍යම පළාත්වල් ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ද ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන  බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දකුණු පළාතේ පැයට කිලෝමීටර 40,45 පමණ වේගවත් සුළං පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම මේ දිනවල සිදුවන අතර අද (10) දහවල් 12.11ට කොල්ලන්කුලම, මහ උස්වැව, ගම්මිල්ලෑව, සීගිරිය, පොළොන්නරුව සහ වාකනේරි යන ප්‍රදේශයන්ට හිරු මුදුන් වනු ඇත.