(අංජුල මහික වීරරත්න)

ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති මගී සේවා අවසර පත්‍රවල අයිතිය පැවරීමේ නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව යම් තැනැත්තකු වෙත ප්‍රදානය කරනු ලැබූ මගී සේවා අවසර පත්‍රයක් වෙනත් අයෙකුට පැවරිය නොහැකි වීමත්, එවන් පැවරීමක් ශුන්‍ය හා බල රහිත වීමත් හේතුවෙන් බස් රථ හිමියන්ට මෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මුහුණ පෑමට සිදු වූ ගැටලු සැලකිල්ලට ගෙන, 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත මඟින් එකී ප්‍රතිපාදන සංශෝධනය කිරීමට පියවර ගනු ලැබ ඇත.

ඒ අනුව, මගී සේවා අවසර පත්‍රයක් පැවරීම සඳහා අදාළ විය යුතු නීතිමය නිර්ණායක ඇතුළත් කරමින්, ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන පරිදි සාදන ලද, අංක 2471/68 දරන 2026-01-07 දිනැති අති විශේෂ ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබ ඇති 2026 අංක 1 දරන මගී සේවා අවසර පත්‍ර පැවරීමේ නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.