(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ්  තුන්වෙනි මාත්‍රාව ( බූස්ටර් ) ලබා ගැනීමට බාධා කරන සහ  එම එන්නත ගැන මිත්‍යා මත පතුරුවන  කණ්ඩායම්  අටක් පිළිබඳව රජයේ බුද්ධි අංශ  විශේෂ විමර්ශනයක් අලුතින් ආරම්භ කර ඇත.

මේ කණ්ඩායම් අතර විවිධ අන්තවාදී ආගමික මතවාදයන් දරණ කණ්ඩායම් තුනක්ද සමාජ ජාලා වෙබ් අඩවි  කිහිපයක්ද වෙතියි  රජයේ බුද්ධි අංශ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

මේ කණ්ඩායම්වල සාමාජිකයන් පිළිබඳව  තොරතුරු සොයා බලා ඒ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් රජයට සහ පොලිස්පතිවරයාට  ලබන සතියේ  බාරදීමට නියමිතය.

දැනට මෙරට බූස්ටර් එන්නත ලබාගෙන ඇති සංඛ්‍යාව එන්නත් ලබාගත් මුළු සංඛ්‍යාවෙන්   සියයට  44 ක් (පුද්ගලයන්  62,14,639) පමණ වේ.

එය ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොවන බවත්  කොවිඩ් ප්‍රශස්ත මට්ටමින්  පාලනය  කිරීම  සඳහා  මේ සංඛ්‍යාව සියයට 80ක් දක්වා වැඩි කර ගැනීම ඉතා අවශ්‍ය බවත්  කොවිඩ් 19 සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය  අන්වර් හම්දානි මහතා  ඉරිදා ලංකාදීපයට පැවැසීය.

ලෝකයේ බොහෝ රටවල්  එම සංඛ්‍යාවට ළඟාවී ඇතැයිද   හෙතෙම සඳහන් කළේ‍ය.

මේ අතර  බූස්ටර්  එන්නත ලබා ගැනීමෙන්  ඇතිවන යම් යම් සංකූලතාවලට සාපේක්ෂව   කොවිඩ්  වැළඳීමෙන් ඇතිවන සංකූලතා  හය ගුණයකින් පමණ   වැඩි  බව කොළඹ වෛද්‍ය පීඨයේ  ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය  ප්‍රියදර්ශනී  ගලප්පත්ති මහත්මිය පැවසුවාය.