(රෝෂන් තුෂාර)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු යැයි කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් ලබන 22 තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද නියෝග කළේය.

සැකකරු උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ මහා පරිමාණ දේපලක් අත්පත් කරගෙන එම දේපල ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නමින් ලියාපදිංචි කර ඇති බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු විසින් බොරලැස්ගමුවේ පිහිටි කෝටි ගණනක් වටිනා ගොඩනැගිලි සංකීර්ණයක් , දඹුල්ල ප්‍රදේශයේ ඉඩම් තුනක් , දඹුල්ලේ ප්‍රසිද්ධ හෝටලයක්, බංගලාවක් හා කෝටි තුනක් පමණ වටිනා ගම්පහ නිවාස සංකීර්ණයක නිවසක් මිලදී ගෙන ඇති බවය.ඇතැම් දේපළ උපකාරක පන්ති ගුරුවරයකු නමින් ලියාපදිංචි කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් පැවසීය.

අදාල දේපල ආචාර්ය සම්පත් අත්තටගේ යන අය නමින් මෙම දේපළ මිලදී ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත්, අදාළ ගුරුවරයා මෙම විමර්ශනයෙහි සැකකරුවකු ලෙස නම් කරන බවත් වැඩිදුරටත් පැවසීය.

මෙම සම්පත් අත්තටගේ යන සැකකරු අදාළ දේපළ උපයා ගත්තෙ කෙසේද? එම දේපළ බාසික්ගේ පියා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් දේපල ද යන්න තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේය. රක්ෂිත බන්ධනාගාරගත අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කොළඹ අපරාධ කොට්ඨාසය මෙම කරුණු ඉදිරිපත් කළේය.

අදාළ සැකකාර ගුරුවරයා සැකකරුවෙකු ලෙස නම් කර ඇති බැවින් ඔහුට විදෙස් ගමන් තහනමක් ලබාගෙන ඇති බවද, අධිකරණයට ඉදිරිපත් කරන ලද දේපළ ක්‍රියා විරහිත කිරීමට නියෝග ලබාගෙන ඇති බවත් පැවසීය. විශාල වශයෙන් මෙසේ දේපළ අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරුට ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඇතුළු නීතීඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් තවදුරටත් විමර්ශන සිදු කරනවා යැයි පවසමින් තම සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඉල්ලා සිටින බවය. සැකකරුගේ පුතා වරදක් කර තිබීම පමණින් පියා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දඬුවමක් නොවිය යුතු බවද පෙන්වා දුන්නේය.