(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ මහනුවර මහා මාර්ගයේ වේවැල්දෙණිය පල්ලිය ආසන්නයේ වංගුවේදී ලංගම හා පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් විස්සකට වැඩි පිරිසක් තුවාල ලබා වතුපිටිවල හා වරකාපොල රෝහල්වලට ඇතුළත් කළ බව දංඕවිට පොලිසිය කියයි.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ පානදුර සිට මහනුවර බලා ගමන්ගත් උඩහමුල්ල ඩිපෝවට අයත් බස් රථයක් හා ගලෙන්බිදුනුවැව සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයකි.

පොලිසිය හා ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මකවී තුවාලකරුවන් රෝහල් කරා යැවීමට පියවර ගෙන ඇති අතර ඉතාමත් සුළු තුවාල ලැබූ කිහිප දෙනෙක් බාහිර ප්‍රතිකාර ලබාගෙන ඇතැයිද පොලිසිය කියයි.  

බස් රථ දෙකේ රියදුරන්ද තුවාල ලබා ඇති බව අනාවරණය වී ඇති අතර එක් රියදුරකු අනතුරින් පසු පලාගොස් ඇති බවට ලැබී ඇති තොරතුරු සත්‍යදැයි හෙලි කර ගැනීමටද පරීක්ෂණ මෙහෙයවන බව පොලිසිය සදහන් කලේය.

මෙම අනතුර නිසා කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට පැයක පමණ කාලයක් අවහිරවී පැවතිණි. පුද්ගලයන් 15 ක්  රෝහලට ඇතුලත් කර ඇති බවද තුවාලකරුවන්ගේ තත්තවය බරපතල නොවන බව වරකාපොල රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.