(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

බලශක්ති  අමාත්‍යවරයා මීට පෙර ගල් අගරු සැපයූ සමාගම සමග රුසියාවේදී පවත්වන ලද සාකච්ඡාවේ සියලු තොරතුරු වහා දෙන ලෙස යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක  සභාව බලශක්ති අමාත්‍යාංශයේ  ලේකම්වරයාට දැනුම් දී ඇත.

රුසියාවේ පැවැති බලශක්ති සතියට ගිය ඇමැතිවරයා මෙම හමුවටද සහභාගිවී ඇති බවත් රජයේ  වියදමින් ගිය ගමනක් හෙයින් ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් ඇති බවත්  කාරක සභාවේ  සාමාජික මන්ත්‍රී  නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.

ආන්දෝලනයට ලක්වී ඇති ගල්අඟුරු ටෙන්ඩරය පොටෙන්සියා සමාගමින් ඉවත් කර ට්‍රයිඩන් සමාගමට ඔක්තෝබර් මස 30 වැනිදා ලබාදීමට කටයුතු කර ඇත්තේ රුසියාවේ පැවති මෙම සාකච්ඡාවෙන් පසුව බවත්  මේ නිසා එම සාකච්ඡාවේ සියලු තොරතුරු දැනගැනීමට රටට සහ ජනතාවට අයිතියක් ඇති බවත්  ඔහු  ප්‍රකාශ කළේය

මෙවැනි සාකච්ඡාවක් සිදුවී ඇති බව බලශක්ති  අමාත්‍යාංශයේ ලේකම්වරයාද  එම කමිටුව හමුවේ පිළිගෙන ඇත.

එහෙත් ඒ පිළිබඳ කිසිදු තොරතුරක් තමාට වාර්තාවී නොමැති බවත්  තමා මෙවැනි සාකච්ඡාවක් සිදුවී ඇති බව දැන ගත්තේ පසුව බවත් ලේකම්වරයා පැවසුවේ යැයිද  මන්ත්‍රීවරයා කීය.

මෙම ආංශික  අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාගේ  ප්‍රධානත්වයෙන් රැස්විය.