(සජීවා කෝට්ටගොඩ )

බාලවයස්කාර දරුවන් දෙදෙනකු මහව නාගොල්ලාගම තම්මිටගම  කැලෑබද ප්‍රදේශයකදී  අද (12) සොයා ගත් බව නාගොල්ලාගම පොලිසිය කියයි .

වයස අවුරුදු 16 සහ 14 ක වන  දැරියක හා පිරිමි දරුවකු මෙලෙස  සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.

පොලිසියට ලද තොරතුරකට අනුව නාගොල්ලාගම ප්‍රදේශවාසීන් හා එක්ව කළ වැටලීමකදී මෙම දරුවන් දෙදෙනා සොයා ගෙන තිබේ.

ඊයේ (11)  කොළඹ ප්‍රදේශයේ සිට බස් රථයෙන් කුරුණෑගලට පැමිණ ඉන්පසු කුරුණෑගල සිට දුම්රියෙන් නාගොල්ලාගම ප්‍රදේශයට පැමිණ ඇතැයිද තොරතුරු අණාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

මොවුන් එදින සවස  පාළු නිවසකටගොස් ඇති බවත් ඊයේ උදෑසන වෙනත් නිවසකට පැමිණ එම නිවසේ ගමන්මලු තබා කැලෑබද ප්‍රදේශය ට පැමිණ ඇති බවට ද කරුණු තහවුරු වී ඇතැයි පොලීසිය  කියයි .

මෙම දරුවන් නාගොල්ලාගම ප්‍රදේශයට පැමිණ ඇත්තේ මාලබේ ප්‍රදේශයේ පුද්ගලයකු සමග බවත් ඔහු නාගොල්ලාගම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බවත් පොලිසිය සඳහන් කරයි .

දරුවන් සොයා ගන්නා විට සැකකරු නොසිටි බවත් සැකකරු කැලෑබද ප්‍රදේශයක සැඟව ඇතැයි ද පවසන පොලිසිය සැකකරු සොයා වැඩිදුර විමර්ශන සිදු කරන බවද සදහන් කළේය.