(තිසර සමල්)

අඹු-සැමි ආරවුලක් දුරදිග ගොස් බීමත් සැමියා සිදු කළ ගිණි තැබීමකින් නිවසක් සම්පූර්ණයෙන් අද (21) ගිණි ගෙන විනාශ වී ඇතැයි එප්පාවල පොලීසිය පවසයි.

එප්පාවල පොලිස් වසමේ කැලේසියඹලෑව, අංක 03 ගම්මානයේ නිවසක් මෙලෙස සම්පූර්ණයෙන් ගිණි බත් වී තිබිණි.

සාලය, නිදන කාමරයක් හා මුළුතැන්ගෙයකින් සමන්විත මෙම නිවස අද පස්වරු 5.00 ට පමණ මෙලෙස ගිණි ගෙන විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.

අදාළ නිවසේ සැමියා හා බිරිඳ පස්වරු 05.00 ට පමණ ඇති කරගත් ආරවුලකින් පසු මෙලෙස නිවසට ගිණි තැබීමට සැමියා කටයුතු කර ඇති අතර, ඔහු ඒ අවස්ථාවේ බීමතින් සිට ඇතැයිද පොලීසිය පවසයි.

බීමත් සැමියා විසින් පෙට්‍රල් දමා නිවස ගිණි තබා ඇති බවත්, ගිණි ගත් නිවස ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව නිවා දැමීමට එප්පාවල පොලීසිය කටයුතු කර ඇතත්, ඒ වන විටත් නිවස සම්පූර්ණයෙන් ගිණි ගෙන විනාශ වී තිබූ බවත් එප්පාවල පොලීසිය පවසයි.

නිවසට ගිණි තැබූ ගෙහිමියා පළා ගොස් ඇති අතර, ඔහු සොයා පොලීසිය පරීක්ෂණ සිදු කරයි.