(මහින්ද නිශ්ශංක  සහ කීර්ති ප්‍රනාන්දු)

බර ප්‍රමාණය අඩු පාන් නිෂ්පාදනය කොට අලෙවි කළ පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රධාන බේකරි හිමියන් තිදෙනකුට විරුද්ධව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා අංශය මගින් නඩු පවරා ඇත .

බර අඩු පාන් නිපදවූ මෙම බේකරි හිමියන් තිදෙනා ඉකුත් දා සිදු කළ වැටලීමකදී  අත්අඩංගුවට ගෙන තිබේ .

පාන් ගෙඩියක බර ග්‍රෑම් 450 කින් යුක්ත විය යුතු නමුත් මෙම බේකරි වල නිෂ්පාදනය කළ පාන් ගෙඩි වල බර ග්‍රෑම් 348 ක් පමණ බවට පරීක්ෂණවලදී තහවුරු වී තිබේ .

ඒ අනුව එම බේකරි හිමියන් දෙදෙනාට විරුද්ධව ගංගොඩවිල සහ හෝමාගම යන අධිකරණ වල නඩු පවරා ඇත .

පාන් මිල ඉහළ දැමීමෙන් පසු පාන් ගෙඩියේ බර සම්බන්ධව ලැබෙන පාරිබෝගික පැමිණිලි සැලකිල්ලට ගෙන අඩුබර පාන් සොයා වැටලීම් දිගටම කරගෙන යන බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පවසයි .

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ උපදෙස් පරිදි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා අංශයේ කාර්ය භාර නිළධාරි ඩබ්ලිව් . සී . සරෝජා මහත්මියගේ මෙහෙයවීමෙන් මිනුම් සේවා උපක්‍රම පරීක්ෂකවරුන් වෙන කේ .එස්. කඩවතආරච්චි මහතා සහ එස් . එම්.කේ . ලක්මාලි මහත්මියද මිනුම් ප්‍රමිති සහායකවරුන් වන ආර්.එම් . වීරසිංහ සහ එම් .පී.එම් .ප්‍රනාන්දු යන නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකොට තිබේ .